
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළකදී (විලා) විසිඅට හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක සහ තෙරපිවරියක ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පනස් එක් හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු තලංගම පොලිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය 04 වනදා මෙම සැකකරු පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් විමර්ශනවලට අනුව, අත්අඩංගුවට පත් සැකකාර විදේශිකයා මාලදිවයිනේ වඩු කාර්මිකයෙකු ලෙස සේවය කරන අයෙකි. ඔහු තමන් නවාතැන් ගෙන සිටි පැලවත්ත ප්‍රදේශයේ විලා එක වෙත අදාළ කාන්තාව කැඳවා ඇත්තේ සම්බාහන සේවාවක් ලබා ගැනීමේ අරමුණින් වන අතර, ඇය විසින් සම්බාහන කටයුතු සිදු කරමින් සිටින අතරතුර සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.