in-the-brutal-attack-in-negombo-prison-toilet-commode-pieces-and-coconuts-were-also-used

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමේදී එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීමට සහ එය මැඬපැවැත්වීමට උත්සාහ කළ නිලධාරීන්ට පහර දීම සඳහා වැසිකිළිවල සවිකර තිබූ කොමඩ් කඩා දැමූ කොටස් මෙන්ම මුළුතැන්ගෙයි තිබූ පොල්ගෙඩි ද ප්‍රහාරකයන් විසින් ආයුධ ලෙස භාවිත කර ඇති බව පොලිසිය පවසයි.




උසස් පොලිස් නිලධාරියකු අනාවරණය කළ පරිදි, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ රැඳවියන් දෙපාර්ශ්වයම බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පිහි, වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබූ කතුරු ඇතුළු විවිධ මෙවලම් සහ කායවර්ධන මධ්‍යස්ථානයේ උපකරණ කඩා ඒවායේ කොටස් ද ප්‍රහාර සඳහා යොදාගෙන තිබේ. පසුගිය හත්වැනිදා රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට ද මේවායින් අමානුෂික ලෙස පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. එහිදී ප්‍රහාරකයින් බන්ධනාගාර නිලධාරීන්ගේ හිස් ඉලක්ක කරමින් පහර දී ඇති අතර, ඔවුන්ගේ මූලික අරමුණ නිලධාරීන් ජීවිතක්ෂයට පත් කිරීම බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් සහ රහස් පොලිස් කණ්ඩායම් බන්ධනාගාරය තුළ සිදු කළ විශේෂ සෝදිසි කිරීම්වලදී ප්‍රහාරවලට යොදාගත් බවට සැකකෙරෙන පොලු මුගුරු දහසකට අධික තොගයක් සොයාගෙන තිබේ. මෙම සෝදිසි කිරීම්වලදී සොයාගත් පොල්ගෙඩි, කතුරු සහ පිහි ඇතුළු ආයුධ රැසක් දැනට පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවා ඉදිරි කාලයේදී නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.




පසුගිය පස්වැනිදා සහ හයවැනිදා බන්ධනාගාරය තුළ හටගත් මෙම දරුණු ගැටුම් හේතුවෙන් ජේලර්වරයකු සහ නියාමකවරුන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයන් විසිඅට දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව නිසා බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා ඇත.