පානදුර උතුර පොලිස් වසමට අයත් ගොරකාන, ගල්කණුව ප්‍රදේශයේ කුලී නිවසකින් තරුණියකගේ නරක් වූ මළ සිරුරක් හමුවීමේ සිදුවීම පිටුපස ඇති බිහිසුණු තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නඳුනි සහශ්‍රි නමැති තරුණියකි.
ඇය එම නිවසේ විවාහයකින් තොරව සබඳතාවක් පවත්වමින් ජීවත්ව ඇත්තේ 27 හැවිරිදි තරුණයකු සමඟය. පානදුර ප්‍රදේශයේ හෝටලයක මුළුතැන්ගෙයි සහායකයකු ලෙස සේවය කළ ඔහු, සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.සිද්ධිය වූ දින රාත්‍රියේ තමා රැකියා ස්ථානයේ සිට කිලෝමීටර හතරහමාරකට ආසන්න දුරක් පයින්ම පැමිණි බව සැකකාර තරුණයා පොලිසියට පවසා තිබේ. ඔහු කාමරයට පැමිණෙන විට රාත්‍රී 11.15 පමණ වී තිබූ අතර, නඳුනි විසින් සාදා දුන් තේ පැන් පානය කර ඔහු පුටුවක විවේක ගනිමින් සිට ඇත. එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අතර මුදල් සම්බන්ධයෙන් බහින්බස් වීමක් හටගෙන තිබේ. මාසය මැද බැවින් තමා සතුව මුදල් නොමැති බව පැවසූ විට, නඳුනි විසින් තමාට දැඩි ලෙස අපහාස කළ බව තරුණයා පවසයි.
"දහදෙනෙකු ලවා උඹේ නංගිව දූෂණය කරවනවා" යනුවෙන් සහ තමාගේ මවටද අපහාස කරමින් නඳුනි සිදුකළ ප්‍රකාශය නිසා තමාට දැඩි කෝපයක් ඇති වූ බව සැකකරු පාපොච්චාරණය කර ඇත. ඉන් අනතුරුව ඔහු පිහියක් ගෙන ඇයගේ පපුවට ඇන, බෙල්ලද කපා ඝාතනය කර තිබේ. ඝාතනයෙන් පසු තමාද බෙල්ල කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ තැන, කාමරයේ තිබූ වේපරයිසර් දියරය පානය කළ බව ඔහු පවසයි. ඉන් වමනය යාම ආරම්භ වූ පසු, සරම මාරු කර සුදු පැහැති දිග කලිසමකින් සහ තැඹිලි පාට ඉරි සහිත කමිසයකින් සැරසී ඔහු නිවසින් පලා ගොස් ඇත.
මොරටුව දුම්රිය ස්ථානය වෙත පයින්ම ගිය සැකකරු, එහිදී කොළඹ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර තිබේ. එහිදී ඔහුගේ දකුණු කකුල සහ ඉළ ඇට ඇතුළු ශරීරයේ අස්ථි කිහිපයක්ම බිඳී බරපතල තුවාල ලබා ඇත. අවට සිටි පිරිස ඔහුව පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර, තත්ත්වය බරපතල බැවින් පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. දින දෙකක් පුරා සැකකරු සෙවූ පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ජාතික රෝහලෙන් ලැබුණු තොරතුරකට අනුවය.
මේ වන විට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයාද රෝහල වෙත පැමිණ සැකකරු නිරීක්ෂණය කර ඇත. වෛද්‍යවරුන් තරුණයාගේ උදරයේ පිරී තිබූ රුධිරය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, බෙල්ලේ ගැඹුරු කැපුම් තුවාල සහ බිඳුණු අස්ථි සහිතව ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. මෙම තත්ත්වය හේතුවෙන් ඔහු ඉදිරියේදී අබ්බගාතයකු වීමේ අවදානමකටද මුහුණ පා සිටී.
ඝාතනයට ලක්වූ නඳුනි සහ ඇයගේ මව කලක් තිස්සේ තරුණයන් රවටමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ වව්නියාවේ පදිංචි පුද්ගලයෙකු පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා අමතා පවසා ඇත්තේ, මෙම මව සහ දියණිය එක්ව තමන් රවටා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කළ බවයි. මීට පෙර ඇය ගුවන් නියමුවකු සමඟද විවාහ ගිවිසගෙන සිටි බව අනාවරණය වේ.
නඳුනි, මෙකී තරුණයා සමඟ ජීවත් වන අතරතුරදීම හොටලයේ අරක්කැමි තරුණයෙකු සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇත. එම තරුණයා පවසන්නේ මව සහ දියණිය එක්ව තම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 8ක් වංචා කළ බවයි. ඊට අමතරව ඇය වෙත මාසිකව ලබා දුන් රුපියල් 35,000 බැගින් වූ මුදලද ඇතුළුව සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් තමන්ට අහිමි වී ඇති බව ඔහු හෙළි කර තිබේ.
නඳුනිගේ මව අතිශය කරුණාවන්ත, දියණියගේ ආරක්ෂාව ගැන සිතන මවක ලෙස රඟපාමින් මෙම මුදල් දෙන තරුණයාට දරුවකුට මෙන් ආදරය පෙන්වා ඔහුව රවටා තිබූ බැවින්, ඔහු මවගෙන් නොවිමසා නඳුනි හමුවීමට පවා ගොස් නැත. පොලිසිය පවසන්නේ තරුණයන් කොටු කරගෙන මුදල් ගැරීමේ උපක්‍රමය නඳුනි සහ ඇයගේ මව එක්ව සැලසුම් සහගතව සිදුකළ එකක් බවයි.
අවසානයේදී සියලු රහස් හෙළි වන විට සිදුවිය යුතු විනාශය සිදුවී හමාරය. මවගේ වැරදි මඟපෙන්වීම හේතුවෙන් අකාලයේ දිවියෙන් සමුගත් නඳුනිගේ දේහය අඩංගු සීල් තබන ලද පෙට්ටිය ඇයගේ මව විසින් භාරගෙන තිබේ. සැකකාර ඝාතක තරුණයා අද වන විට ජීවිතයත් මරණයත් අතර සටනක පසුවන අතර, මෙම දැලට හසුව සිටි අරක්කැමි තරුණයා සියල්ලෙන් ගැලවී ගියද, නඳුනි නිසා ඔහුට භාර ගැනීමට සිදුවූ විශේෂ වගකීමක් ඉතිරිව ඇත. ඒ නඳුනි සන්තකයේ සිටි සුනඛ පවුල රැකබලා ගැනීමේ වගකීමයි.