තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ජනප්‍රිය රාත්‍රී විනෝදාස්වාද මධ්‍යස්ථානයක 2026 ජූලි 13 වන සඳුදා අලුයම හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. බැංකොක්හි උතුරු ප්‍රදේශයේ චතුචක් වෙළෙඳපොළ ආසන්නයේ පිහිටි "රොන්ග් බියර් නා ලට් ප්‍රාඕ" (Rong Beer Na Lat Phrao) නමැති සජීවී සංගීත සංදර්ශන පවත්වන මත්පැන්හලක මෙම ඛේදවාචකය සිදුව ඇත.
සති අන්තයේ විශාල වශයෙන් පිරිස් ගැවසෙන මෙම ස්ථානයේ මියගිය පිරිස අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 9 දෙනෙකු වන බව බලධාරීන් තහවුරු කර තිබේ.ඉරිදා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම මෙම ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී එහි සිටි පිරිස් දැඩි කලබලයට පත්ව ජීවිතය බේරා ගැනීමට දිවගොස් ඇත. සිද්ධිය දුටුවන් සහ එහි සිටි කලාකරුවන් පවසන පරිදි, වේදිකාව අසල පිහිටි විදුලි පරිපථ බිඳිනයකින් මුලින්ම දුමාරයක් මතු වී ඇති අතර පසුව විදුලිය විසන්ධි වී විශාල පිපිරීමක් සිදුව තිබේ. ඉන් අනතුරුව සිවිලිමේ තිබූ අලංකාරක ද්‍රව්‍යවලට ගින්න සීග්‍රයෙන් පැතිරී යාම නිසා මුළු ගොඩනැගිල්ලම ඝන අඳුරු දුමාරයකින් වැසී ගොස් ඇත.
ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන්ට විනාඩි 30 කට අධික කාලයක් ගත වුවද, ඒ වන විටත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇත. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් බහුතරයකගේ සිරුරු හමුවී ඇත්තේ ගොඩනැගිල්ලේ පිටුපස පිහිටි වැසිකිළි පරිශ්‍රය තුළිනි. ඝන දුමාරයෙන් සහ ගින්නෙන් බේරීම සඳහා ඔවුන් එහි දිවගොස් ඇති නමුත් එහි හදිසි පිටවීමේ දොරටු නොතිබීම සහ පවතින දොරටු අවහිර වී තිබීම හේතුවෙන් ඔවුන් හුස්ම හිරවීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 63 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති අතර ඉන් 22 දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බව බැංකොක් නුවර ආණ්ඩුකාර චැඩ්චාර්ට් සිට්ටිපුන්ට් ප්‍රකාශ කර තිබේ. අනතුරට පත් වූවන් අතර ප්‍රාදේශීය වැසියන් මෙන්ම එහි සංදර්ශන පැවැත්වූ සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ද වන බව සඳහන් වේ. තුවාල ලැබූවන්ගෙන් සහ මියගියවුන්ගෙන් බහුතරයක් සන්තකයේ හැඳුනුම්පත් නොතිබීම සහ ඇතැමුන් සිහිසුන්ව සිටීම හේතුවෙන් ඔවුන් කවුරුන්දැයි හඳුනාගැනීමේ කටයුතු තවදුරටත් සංකීර්ණ වී ඇත.
තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබේ. ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම්, ජනතාව අධික ලෙස පිරී සිටීම හෝ විදුලි කාන්දුවක් මෙම අනතුරට හේතු වී ඇත්දැයි සොයා බැලීමට වෝහාරික පොලිස් කණ්ඩායම් සහ සහන සේවා නිලධාරීන් මේ වන විට සාක්ෂි එකතු කරමින් සිටී. තම ආදරණීයයන් පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකිව ඥාතීන් දැඩි කනස්සල්ලෙන් සිද්ධිය වූ ස්ථානය අවට රැඳී සිටින අයුරු දැකගත ඇත.
මෙම සිදුවීමත් සමඟ තායිලන්තයේ රාත්‍රී විනෝදාස්වාද මධ්‍යස්ථානවල පවතින ගිනි ආරක්ෂණ ප්‍රමිතීන් පිළිබඳව නැවත වරක් දැඩි කතාබහක් සහ කනස්සල්ලක් නිර්මාණය වී තිබේ. මීට පෙර 2009 වසරේදී බැංකොක් නුවර "සන්ටිකා" රාත්‍රී සමාජශාලාවේ සිදුවූ ගින්නකින් පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 2022 වසරේද මෙවැනිම සංගීත ශාලාවක හටගත් ගින්නකින් 14 දෙනෙකු මියගොස් තිබුණි. මෙම නවතම ඛේදවාචකය තායිලන්ත ඉතිහාසයේ මෑතකදී වාර්තා වූ දරුණුතම රාත්‍රී සමාජශාලා අනතුරක් ලෙස සනිටුහන් වේ.