identifies-21-companies-illegally-driving-dollars-out-of-the-country

රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් විදේශ රටවලට යැවීමේ මහා පරිමාණ ජාවාරමකට මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.

බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් දැනටමත් සමාගම් 06ක් හඳුනාගෙන ඇති අතර ඉතිරි ආයතන පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවයි.




රුපියල් කෝටි 19,000කට අධික වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර් කෝටි 70කට වැඩි මුදලක් මෙලෙස නීතිවිරෝධී ලෙස විදේශගත කර ඇති බව පැමිණිල්ල මගින් අධිකරණයට අනාවරණය කර ඇත. මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සමාගම් 36ක ගිණුම් පරීක්ෂා කිරීමේදී අවස්ථා 10,156කදී මෙලෙස මුදල් පිටරට යවා ඇති බව තහවුරු වී තිබුණද, ඒ සඳහා භාණ්ඩ මෙරටට ආනයනය කළ බවට කිසිදු රේගු සටහනක් නොමැති බවද පැවසීය. මීට අමතරව ආනයනික භාණ්ඩ සඳහා අඩු වටිනාකම් දක්වමින් රජයට අයවිය යුතු බදු අහිමි කිරීමේ ජාවාරමක් සිදුව තිබේද යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙයි.

කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්" නැමැති ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටි ජෙෆ්‍රි මොහොමඩ් නමැති සැකකරු මෙම ජාවාරමේ ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස කටයුතු කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් ද, නීතිවිරෝධී මුදලින් මිලදී ගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්තරන් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු හරහා ඩොලර් පිටරට යැවූ මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.




සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා යන මහත්වරුන් කියා සිටියේ නිසි පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බැවින් සැකකරු සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසයි. කෙසේ වෙතත්, සැකකරු විමර්ශන සඳහා සහාය නොදැක්වීම, සාක්ෂි සැඟවීමට ඇති හැකියාව සහ අධිකරණය මගහැර සිටීමට ඇති ඉඩකඩ සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.