a-minor-mistake-is-enough-to-refuse-a-visa-to-america---the-embassy-informs

සුළු මට්ටමේ වරදකට සම්බන්ධ වී තිබුණ ද, ඒ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම සදාකාලිකවම තහනම් වීමේ අවදානමක් පවතින බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි. එම නිසා වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන පුද්ගලයන් තම අතීත අපරාධ පිළිබඳ තොරතුරු කිසිදු අයුරකින් සඟවා නොතබා පූර්ණ සත්‍යය පමණක් හෙළිදරව් කළ යුතු බව නිල නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.




වීසා පරික්ෂා කිරීමේ ක්‍රියාවලියේදී අයදුම්කරුවන්ගේ අතීත අපරාධ පසුබිම් සෘජුවම නිරීක්ෂණය කිරීමේ විශේෂ ප්‍රවේශයක් කොන්සල් නිලධාරීන් සතුව පවතී. තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් ගිණුම හරහා තහවුරු කර ඇති පරිදි, යම් පුද්ගලයෙකු මීට පෙර සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණ මගින් ලබා දී ඇති වරදකරු කිරීමේ තීන්දු සම්බන්ධ තොරතුරු ඉතා පහසුවෙන් අනාවරණය කර ගැනීමට මෙම නිලධාරීන්ට හැකියාව ඇත.

එබැවින් වීසා අයදුම්පත් පිරවීමේදී මෙන්ම සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දෙන අතරතුරදී ද කිසිදු අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරක් ඉදිරිපත් කිරීමෙන් දැඩි ලෙස වළකින ලෙස තානාපති කාර්යාලය උපදෙස් දෙයි. ලබා දී ඇති මාර්ගෝපදේශ නොසලකා හරිමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම හෝ තොරතුරු වසන් කිරීම හේතුවෙන් ඇමෙරිකානු වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ඇති අවස්ථාව සදහටම අහිමි වී යා හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.