සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' නමැත්තාගෙන් රුපියල් කෝටි ගණනක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතාට අධිකරණය මගින් ඇප නියම කළද, නියමිත වේලාවට එම ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ජූලි 28 වැනිදා දහවල් ඇප නියෝග කරන ලදී.
අධිකරණ නියෝගයට අනුව සෑම සැකකරුවෙකු සඳහාම රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් පනවනු ලැබීය. එමෙන්ම ශරීර ඇපකරුවන් සතුව ඇපයේ වටිනාකමට සරිලන ස්ථිර ආදායමක් හෝ දේපළ පවතින බවට තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතු බවට මෙන්ම, සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගනිමින් ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීමට ද නියෝග කෙරිණි.
අධිකරණය නියම කළ ඇප කොන්දේසි විවෘත අධිකරණයේදී සපුරාලීමට නීතිඥ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් දෙදෙනා කටයුතු කිරීම නිසා ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදාහැරීමට නියෝග කෙරුණු අතර, සැකකාර චරිත් අබේසිංහ මහතාට නියමිත වේලාවට සිය ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පස්වරු 5.30 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටි 'හරක් කටා' ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් ස්ථානයකට යොමු කිරීම ඇතුළු පහසුකම් සැලසීම වෙනුවෙන් 2023 වසරේදී ඩුබායිහිදී ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා, පසුව එය කෝටි 20 දක්වා අඩු කර ඉන් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 12 ක (මිලියන 120 ක) මුදලක් ලබාගත් බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙම සිදුවීමට අදාළව සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කර තිබේ.