ශ්‍රී ලංකාවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන එච්.අයි.වී. (HIV) ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ අයුරින් ඉහළ ගොස් ඇතැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය ප්‍රකාශ කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව, සමස්ත රටෙන්ම වසරින් වසර හඳුනාගන්නා එච්.අයි.වී. ආසාදිතයන්ගේ ප්‍රමාණයද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.විශේෂයෙන්ම 2023 වසරේ සිට මේ දක්වා කාලය සැසඳීමේදී වාර්ෂිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙන අතර, එම රෝගීන් අතරින් බහුතරය පිරිමින් බව අනාවරණය වී ඇත. වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය සඳහන් කරන ආකාරයට, මෙලෙස එච්.අයි.වී. ව්‍යාප්තිය වේගවත් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පුද්ගලයන් අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීමට පෙළඹීමයි.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්නා පුද්ගලයන් අතර සිරින්ජර්, එන්නත් කටු සහ අනෙකුත් ආශ්‍රිත උපකරණ පොදුවේ හවුලේ භාවිත කිරීමද මෙම රෝගී සංඛ්‍යාව ඉහළ යාමට අනුබල දී තිබේ. එච්.අයි.වී. යනු සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයක් නොවන නමුත්, වයිරසය ශරීරගත වූ අයකු දිවි ඇති තුරා වෛද්‍ය ප්‍රතිකාර සහ අදාළ ඖෂධ අඛණ්ඩව ලබාගත යුතු බව වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එච්.අයි.වී. සහ හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන අනෙකුත් රෝග කල්තියා හඳුනා ගැනීමටත්, ඒවා පැතිරීම වැළැක්වීමටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් විශේෂ ජංගම සායන මාලාවක් මේ වන විටත් ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් රෝගීන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.