
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවේ පැවැත්වුණි. එහිදී බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ මෙහෙයවීම මත සාක්ෂි ලබා දෙමින්, වසර 16කට අධික කාලයක් හිටපු පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් (697) ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේ, මියගිය දිනයේ පරීක්ෂා කිරීමට යැයි පවසමින් හිටපු පොලිස්පතිවරයා තමාගෙන් පිස්තෝල ගිනි අවිය සහ ඊට යොදන පතුරම් ඉල්ලාගෙන වෙඩි තබාගත් බවයි.
විවෘත අධිකරණයේදී සාක්ෂි දෙමින් පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මෙසේ පැවසීය.
"මම වසර 16 කට අධික දීර්ඝ කාලයක් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිය ලෙස සේවය කරනවා. මෙම කාලය තුල සර් කිසිම දවසක මගෙන් පිස්තෝලය කුමන හේතුවකටවත් ඉල්ලලා නැහැ.ඒ වගේම ව්‍යායාම කිරීමට ගිය කිසිම දිනයක වතුර බෝතල් රැගෙන ගියේ නැහැ. වතුර බෝතල් රැගෙන යන්න කියලා මට කියලත් නැහැ. මෙම සිද්ධිය වුණ දිනයේ සර් ව්‍යායාම කිරීමට යෑම සඳහා ව්‍යායාම කරන ඇඳුමින් සැරසී සිටියා එහෙත් ඒ වෙලාවේ සපත්තු දාලා හිටියේ නැහැ. සාමාන්‍යයෙන් මීට පෙර නම් සර් ව්‍යායාම කිරීමට යැමට සූදානම් වෙලා සපත්තු නොදමා ඉන්නේ නැහැ.එහෙත් මෙහි දවසේ සහ කරන ඇඳුම් ඇදගෙන සිටියත් සපත්තු දාලා හිටියේ නැහැ. එදා සර් මට කිව්වා ප්‍රසන්න ඔයාගේ පිස්තෝලය මට දෙන්න කො පරික්ෂා කරලා බලන්න කියලා, ඔඔ සර්ට පිස්තෝලය දුන්නා. හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ. ඊට පස්සේ සර් කිව්වා පරීක්ෂා කරලා බලන්න කෝ පතුරයි දෙන්න කියලා. සර් ඉල්ලපු නිසා පතුරම් සහිත මැගසිනයත් සර්ට දුන්නා. පිස්තෝලයයි පතුරයි සහිත මගෙන් මැගසිනයයි ඉල්ලාගෙන අතට අර ගත්තට පස්සේ සර් මට කිව්වා ප්‍රසන්න ව්‍යායාම කරන්න යන්න වතුර බෝතලයක් ගේන්න කියලා. මම වතුර බෝතලයක් ගේන්න ගියා. යනවාත් සමග වෙඩි ශබ්දයක් අසුණා. ගිහින් බලන විට සහ එතන වෙඩි වැදී වැටී සිටියා. ගෙදර අය සමඟ ඉක්මනට සර් මුල්ලේරියාව රෝහලට රැගෙන ගියා පසුව දැ ගන්න ලැබුණ සහ මියගොස් ඇති බව."
තලාහේනේ පිහිටි නිවසේදී ඉකුත් ජූලි මස 17 වැනිදා හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය ප්‍රකාරව බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය වෙත පැවරීමට අධිකරණය නියෝග කර තිබිණි. ඒ සඳහා බස්නාහිර දකුණ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කඩුවෙල අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
සිද්ධියට අදාළව සැකකෙරෙන පිස්තෝල ගිනි අවිය, ජීව උණ්ඩ සහිත මැගසිනය සහ හිස් පතුරම් කොපුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණයෙන් නියෝග ලැබිණි.
නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, ලබා දී ඇත්තේ විවෘත තීන්දුවක් පමණි. ඒ අනුව, මරණයට අදාළ ස්ථිර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරි දිනයකදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.