අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි නසා ගැනීමට තැත් කිරීම නිසා බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙකි.
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව මොහු මීට මාස දෙකකට පමණ පෙර බන්ධනාගාර ගත කර තිබේ. මෙම රැඳවියා පසුගිය 28 වනදා බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී රෙදි කැබලිවලින් සකස් කරගත් ලණුවක් ආධාරයෙන් ගෙල වැලලා ගැනීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ සෙසු රැඳවියන් ඒ පිළිබඳව වහාම බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර ඇති අතර, පසුව රැඳවියා මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. මොහු සියදිවි හානිකර ගැනීමට තැත් කළේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සහ බන්ධනාගාර බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.