පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම සහ මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර එකහමාරක සිරදඬුවමක් නියම වී සිටින සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් සහ ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. එම මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් විසින් බදුල්ල මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම නඩුවේ තෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටි ඇමැති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරී රසික කරුණාතිලක මහතාට චෝදනා තුනක් සම්බන්ධයෙන් වසර 10 කට අත්හිටවූ මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා පියවර ගත්තේය. ඊට අමතරව පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි. ඒ අනුව එම වන්දි මුදල පසුගිය 28 වනදා අධිකරණයේ තැන්පත් කිරීමෙන් පසුව හෙතෙම නිදහස්ව ගොස් ඇත.
තෙවැනි විත්තිකරු සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී විනිසුරුවරයා විශේෂ සටහනක් තබමින් සඳහන් කළේ ඔහු විසින් ඉටුකර ඇති දීර්ඝ කාලීන සේවය සැලකිල්ලට ගත් බවයි. වසර 33 ක සේවා කාලය තුළ කිසිදු විනය චෝදනාවකට ලක් නොවී ලබන වසරේදී විශ්‍රාම යාමට නියමිතව සිටින බවත්, යාපනය, වවුනියාව සහ කිලිනොච්චිය වැනි යුද පීඩිත ප්‍රදේශවල සේවය කරමින් ප්‍රශංසා ලිපි 711 ක් ලබාගෙන ඇති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබිණි. මෙම කරුණු මත පදනම්ව, ඔහුගේ විශ්‍රාම වැටුප් හිමිකම්වලට හානියක් නොවන පරිදි දඬුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.
2019 වසරේ පෙබරවාරි 10 වනදා පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම ආසන්නයේදී මෙම සිදුවීම සිදුව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී පොලිස් ජීප් රථයක් ඔවුන්ගේ රථය ඉස්සර කිරීමත් සමඟ දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් මීට මුල්වී ඇත. අනතුරුව පොලිස් රථයට මග හරස්කර එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරමින් පහරදී තුවාල සිදුකළ බව පැමිණිලි පාර්ශ්වය විසින් නඩු විභාගයේදී තහවුරු කරනු ලැබීය.
නඩුව විභාග වන අවස්ථාව වන විට මෙහි පළමු විත්තිකරු ලෙස කටයුතු කළ රියැදුරු බන්දුල රත්නායක නැමැත්තා මියගොස් සිටි බවද අනාවරණය විය. මහාධිකරණයේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනිතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා පෙනී සිටි අතර, දෙවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සහ තෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුජීවන සිල්වා මහතා පෙනී සිටියහ.