එංගලන්තයේ උපදින සෑම දරුවෙකුම ඉතා දුර්ලභ ගණයේ කොඳු ඇට පෙළ ආශ්‍රිත මාංශ පේශි ක්ෂය වීමේ රෝගයක් සඳහා පරීක්ෂාවට ලක් කිරීමට එරට සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
'Spinal Muscular Atrophy' (SMA) ලෙස හැඳින්වෙන මෙම රෝගය හේතුවෙන් දරුවන්ගේ අත් පා අප්‍රාණික වන අතර, ඔවුන්ට වාඩි වීමට, බඩගෑමට හෝ ඇවිදීමට නොහැකි තත්ත්වයක් උදා වේ. මීට අමතරව හුස්ම ගැනීමේ සහ ගිලීමේ අපහසුතා ද ඇතිවිය හැකි අතර, නිසි කලට රෝගය හඳුනා නොගතහොත් වසර දෙකක් ඇතුළත දරුවා මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතී.
සංඛ්‍යාලේඛනවලට අනුව මෙම රෝගය ළදරුවන් 10,000 කින් එක් අයෙකුට පමණ වැළඳෙන අතර, එක්සත් රාජධානිය තුළ වසරකට මෙවැනි රෝගීන් 48 දෙනෙකු පමණ වාර්තා වේ. කෙසේ වෙතත්, දරුවා ඉපදුණු වහාම මෙම රෝග තත්ත්වය හඳුනාගතහොත් ජාන චිකිත්සක ප්‍රතිකාර හරහා එම දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හිමි කර දිය හැක.
එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට දින පහක් වයසැති ළදරුවන්ගේ විලුඹෙන් ලබාගන්නා රුධිර සාම්පල හරහා මෙම නව පරීක්ෂණය සිදු කෙරෙනු ඇත. දැනටමත් සිස්ටික් ෆයිබ්‍රෝසිස් (cystic fibrosis) සහ දෑකැති සෛල රක්තහීනතාවය (sickle cell disease) ඇතුළු තවත් රෝග 10 ක් හඳුනාගැනීම සඳහා මෙම රුධිර පරීක්ෂාව සාර්ථකව භාවිතා කෙරේ.
පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කළ නියමු ව්‍යාපෘතියක් යටතේ එංගලන්තයේ අලුත උපන් දරුවන්ගෙන් සියයට 72 ක් පමණක් මෙම පරීක්ෂණයට ලක් කිරීමට මීට පෙර නියමිතව තිබුණි. එහෙත්, මෙමඟින් සමහර රෝගීන් හඳුනාගැනීමට නොහැකි වනු ඇති බවටත් එය අසාධාරණ ක්‍රමවේදයක් බවටත් එල්ල වූ විවේචන හේතුවෙන්, 2027 වසරේ ඔක්තෝබර් මාසයේ සිට වසරකට උපදින 563,000 ක් පමණ වන සියලුම ළදරුවන් මෙම පරීක්ෂණයට ලක් කිරීමට අමාත්‍යවරුන් විසින් පියවර ගෙන ඇත.
මෙම තීරණය අතිශය වැදගත් ඉදිරි පියවරක් බව 'Spinal Muscular Atrophy' ආයතනයේ ප්‍රධාන විධායක ජයිල්ස් ලොමැක්ස් සහ 'Muscular Dystrophy UK' හි ප්‍රධාන විධායක ඇන්ඩි ෆ්ලෙචර් යන මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.
හිටපු 'Little Mix' ගායිකා ජෙසී නෙල්සන්ගේ නිවුන් දියණියන් වන ඕෂන් ජේඩ් සහ ස්ටෝරි මොන්රෝ ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර, ජෙසී නෙල්සන් විසින් සිදු කරන ලද දැවැන්ත දැනුවත් කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් මෑත කාලීනව මෙම රෝගය පිළිබඳව දේශපාලන සහ මාධ්‍ය අවධානය බෙහෙවින් ඉහළ ගොස් තිබේ.