still-the-daily-loss-of-mattala-airport-is-70-lakhs

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සිදුවන දැවැන්ත මූල්‍ය අලාභය අවම කරගැනීම සඳහා මේ වන විටත් ආයෝජන යෝජනා කැඳවා ඇති අතර, ඊට අදාළ සියලු කටයුතු 2027 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම ගුවන්තොටුපොළ දිනකට රුපියල් මිලියන 6ත් 7ත් අතර අගයකින්, එනම් වසරකට රුපියල් බිලියන 4කට ආසන්න මහා පරිමාණ පාඩුවක් ලබන බවයි.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා සකස් කළ විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක් ද මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.




ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මෙම විශේෂ සාකච්ඡාවේදී අදාළ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල වත්මන් ක්‍රියාකාරීත්වය මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණි. එහිදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක සංවර්ධන සැලැස්ම යටතේ, පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම මෙන්ම ඩිපෝ ප්‍රසාරණය කිරීමේ කටයුතු ද 2027 වසර තුළ නිම කිරීමට නියමිත බව අනාවරණය විය. මීට අමතරව, හිඟුරක්ගොඩ ඇතුළු දිවයිනේ අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ සමාලෝචනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

යාපනය ගුවන්තොටුපොළේ මගී පර්යන්තය නවීකරණය කරමින් පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, කොළඹ වරාය ආශ්‍රිත Logistic Park ව්‍යාපෘතිය, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම, බටහිර පර්යන්තයේ දෙවැනි අදියරේ කටයුතු මෙන්ම වරාය සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙම රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අවධාරණය කළේ රාජ්‍ය ආයතන සතු මූල්‍ය ශක්තිය නිසි ලෙස කළමනාකරණය කරමින්, මහජන බදු මුදල්වලට බරක් නොවන අයුරින් ජාතික භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දීමට කටයුතු කළ යුතු බවයි. මෙම අවස්ථාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගී වී සිටියහ.