චීනයේ අපනයන අංශය දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබුණද, කොවිඩ් වසංගතයෙන් පසු වාර්තා වූ දුර්වලම කාර්තුමය ආර්ථික වර්ධන වේගය පසුගියදා වාර්තා විය. ජුනි මාසයෙන් අවසන් වූ කාර්තුව සඳහා චීන ආර්ථිකය පුළුල් වී ඇත්තේ හුදෙක් සියයට 4.3 කින් පමණක් වන අතර, එය රජය විසින් අපේක්ෂා කළ සියයට 4.5 ත් 5 ත් අතර වාර්ෂික ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස පහළ අගයකි.
1990 දශකයේ මුල් භාගයේදී නිල වශයෙන් කාර්තුමය දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත වාර්තා කිරීම ආරම්භ කළ දා සිට වාර්තා වූ දුර්වලම දත්ත කියවීමක් ලෙස මෙය සැලකේ. මීට පෙර මීට වඩා අඩු ආර්ථික වර්ධනයක් වාර්තා වූයේ 2022 වසරේ අවසන් කාර්තුවේදී වන අතර, ඒ වන විටත් එරට දැඩි කොවිඩ් -19 සීමා කිරීම් යටතේ පැවතිණි.මෙම ආර්ථික පසුබෑම වාර්තා වන්නේ ජුනි මාසය සඳහා චීන රේගුව විසින් නිකුත් කරන ලද දත්ත මගින් ඔවුන්ගේ සමස්ත අපනයන සියයට 27 කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇති පසුබිමකය. විශේෂයෙන්ම ජුනි මාසයේදී මෝටර් රථ අපනයනය ප්‍රථම වතාවට මිලියනයක් ඉක්මවා ගොස් ඇතත්, දේශීය වාහන අලෙවිය සියයට 16 කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබීම කැපී පෙනේ. මෝටර් රථ හැර අනෙකුත් සිල්ලර වෙළඳාම පසුගිය මාසයේදී සියයට 3 කින් පමණක් වර්ධනය වී තිබූ අතර, ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පාරිභෝජනයේ වඩාත් තිරසාර වර්ධනයක් රටට අවශ්‍ය බවයි. මෙම පරස්පර විරෝධී දත්ත මගින් පෙන්නුම් කරන්නේ, දේශීය පාරිභෝගික ඉල්ලුම සහ ආයෝජන දිරිගැන්වීමට චීනය අරගල කරමින් සිටින අතරතුර, එරට ආර්ථිකය විදේශයන්ට භාණ්ඩ විකිණීම මත කොතරම් දුරට රඳා පවතින්නේද යන්නයි.
චීන ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගයන් වූ දේපළ වෙළඳාම් සහ ඉදිකිරීම් අංශ ද මේ වන විට පසුබෑමකට ලක්ව ඇත. ස්ථාවර වත්කම් ආයෝජනවල මෙවැනි සංකෝචනයන් මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු සිදු වී ඇත්තේ 1961 සහ 1967 යන වසරවලදී පමණි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් පමණ වන අපනයන මත යැපීම අවම කරමින් පාරිභෝගික වියදම් ඉහළ නැංවීම සඳහා පුළුල් පියවර අවශ්‍ය බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ. මේ වන විට ඇමරිකා-චීන වෙළඳ යුද්ධය යම්තාක් දුරකට සමනය වී ඇතත්, නොවැම්බර් මාසයේදී තීරුබදු නැවත පැනවීමක් සිදුවුවහොත් එය චීන අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයින්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි බීජිං පාලනය දැඩි අවධානයකින් පසුවෙයි. කෙසේ වෙතත්, වසරේ මුල් භාගය සඳහා සමස්ත ආර්ථික වර්ධනය සියයට 4.7 ක් ලෙස සටහන් වීම හේතුවෙන්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැවැන්ත මැදිහත්වීම් සිදු කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයින් මත ඇති පීඩනය යම් පමණකින් අඩු විය හැකි බවද නිල සංඛ්‍යාලේඛන වැඩිදුරටත් පෙන්වා දෙයි.