
හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් එය ඉදිරියට පවත්වාගෙන යන බව පැමිණිල්ල විසින් ඊයේ (16දා) අධිකරණයට දැනුම් දෙන ලදී. රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑනව දහස් නවසියයකට (රු.
59,679,900) අධික ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා තුනක් යටතේ මොවුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී, ඇප මත පසුවන විත්තිකරුවන් දෙදෙනාම උසාවියේ පෙනී සිටියහ. වෛද්‍ය නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඩේසි ෆොරස්ට් මහත්මිය මීට පෙර වෙනත් නඩුවකින් මුදාහැර තිබීම හේතුවෙන්, කුමන්ත්‍රණ චෝදනා යටතේ යෝෂිත රාජපක්ෂ යන එක් විත්තිකරුවෙකුට පමණක් නඩු පැවරිය නොහැකි බව පවසමින් විත්ති පාර්ශවය විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, එම විරෝධතාව ප්‍රතික්ෂේප කර ඇති අභියාචනාධිකරණය, අදාළ කුමන්ත්‍රණ චෝදනා යටතේම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ඉදිරියට කරගෙන යාම සඳහා නීතිමය අවසරය ලබා දී ඇති බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය තීරණය කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කිරීමටයි.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ගොනු කර ඇති මෙම අධිචෝදනා සඳහා පාදක වී ඇත්තේ 2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 යන කාලසීමාවන් තුළ කොළඹ සහ තංගල්ල ප්‍රදේශවල පිහිටි බැංකුවල සිදුකළ තැන්පතු වේ. මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ සමයේ මසකට රුපියල් 73,000ක වැටුපක් ලබා ඇති නමුත් ඔහු එම මුදල් සිය ගිණුමෙන් ආපසු ලබාගෙන නොමැති බවයි. එමෙන්ම ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එස්. තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කළ අයෙකු වන අතර, එකල ඇය ලැබූ මාසික වේතනය රුපියල් 300ක් වැනි සුළු මුදලක් බවද එහිදී අනාවරණය වී තිබුණි.
මෙම නඩුව වෙනුවෙන් රජයේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රභූන් සහ විවිධ උසස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 103 දෙනෙකු නම් කර ඇත. ඒ අතර හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සහ ලුතිනන් කමාන්ඩර් ටී.ඒ.ඒ. අරන්දර ඇතුළු නාවික නිලධාරීන් පස් දෙනෙකු ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටිති. මීට අමතරව සුරකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. චන්ද්‍රසේකර යන මහත්වරුද සෙසු සාක්ෂිකරුවන් අතර වෙති. විත්තිකරුවන් සතු බැංකු ගිණුම් 4ක සාරාංශ ලේඛන, කොටස් වෙළෙඳපොළ ආයෝජන විස්තර, වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙන්ම රත්මලාන කෙකටිය පෙදෙසේ සහ ඇල්ල නිව් බර්ග් වතුයායේ පිහිටි ඉඩම් හා නිවාස මිලදී ගැනීමට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ ලේඛන 25ක් ද මෙහිදී නම් කර තිබේ.
2018 වසරේදී මුලින්ම ආරම්භ කරන ලද මෙම විමර්ශන ගොනුවට අදාළව, වසර හතක කාලයකට පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් 11 වැනිදා මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කරනු ලැබීය. ඊයේ දින පැවැති නඩු වාරය සඳහා පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා පෙනී සිටි අතර, විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.