
වරකාපොළ, දොරවක පල්ලෙබාගේ ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලයක් තුළ රාජකාරියේ නිරතව සිටි සමාජ සවිබලගැන්වීමේ නිලධාරිනියකගේ ගෙල බැඳි පවුම් දෙකක් වටිනා පෙන්ඩනය සහිත රන්මාලය බලහත්කාරයෙන් කඩාගෙන පලාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා වරකාපොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 15 වැනිදා සවස් කාලයේදී මෙම කොල්ලකෑම සිදුව ඇත.
පොලිස් වාර්තාවලට අනුව එදින පස්වරු 5.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අදාළ කාර්යාලය තුළට එකවරම කඩා වැදී ඇත. යතුරුපැදියේ පසුපස අසුනේ පැමිණි එම පුද්ගලයා නිලධාරිනිය සතු රන්මාලය සොරාගෙන, කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියට යළි ගොඩවී අනෙක් පුද්ගලයාද සමඟ ක්ෂණිකව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන් වේ.
සිද්ධියට මුහුණ පෑ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරිනිය විසින් මේ පිළිබඳව වරකාපොළ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කොල්ලකෑම සිදුකළ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පලාගිය සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වරකාපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.