the-law-is-strict-against-those-who-sell-tobacco-with-betel-nut

බුලත්විට සමඟ දුම්කොළ මිශ්‍ර කර අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරි පනත මෙන්ම 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව, දුම් රහිත දුම්කොළ නිෂ්පාදන මෙරට තුළ විකිණීම සහමුලින්ම තහනම් කර ඇති බවයි.




ශ්‍රී ලංකාවෙන් වසරකට මුඛ පිළිකා වැළඳුණු රෝගීන් 1750ත් 1900ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගන්නා බවත්, මෙම දැඩි ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ මෙරට ජනතාව එකී බිහිසුණු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය. මෙයින් බුලත්විට වෙළෙඳුන් අපහසුතාවයට පත් කිරීමේ කිසිදු චේතනාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දේශීය සංස්කෘතික වටපිටාව සැළකිල්ලට ගනිමින් මෙතෙක් කල් මෙම නීති රීති ඍජුවම ක්‍රියාත්මක නොකර, මහජනතාව දැනුවත් කිරීමට පමණක් සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සභාපතිවරයා සිහිපත් කළේය. වැරදි නිවැරදි කර ගනිමින් නීතියට අනුගත වීම සඳහා වෙළෙඳුන්ට මෙන්ම පාරිභෝගිකයන්ටද ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින්, මින් ඉදිරියට කිසිදු බුරුලක් නොපෙන්වා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.




යම් හෙයකින් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරනු ලැබුවහොත්, වරදකරුවන් වන අයට රුපියල් 2000ක මුදල් දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කිරීමට ප්‍රතිපාදන පවතී. කෙසේ වෙතත්, මෙම නීතිමය තහනම බලපැවැත්වෙන්නේ දුම් රහිත දුම්කොළ වර්ග සඳහා පමණක් වන අතර, දුම් සහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා දැනට පවතින නීතිය යටතේ අවසර හිමිව ඇති බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.