ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවැත්වූ රැස්වීමේදී වත්මන් ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොකර සියයට 8.75 මට්ටමේම තබා ගැනීමට පියවර ගෙන තිබේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇතිව තිබෙන ආර්ථික ප්‍රවණතා සහ අනාගත පෙරනිමිති පිළිබඳව දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත.
මැදපෙරදිග කලාපයේ යළි හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ ඛනිජ තෙල් ඇතුළු ප්‍රධාන ගෝලීය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, එය ලෝක ආර්ථිකයේ වර්ධනයට මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද අහිතකර ලෙස බලපෑ හැකිය. මේ අතර දේශීය වශයෙන් ආහාර සහ බලශක්ති ගාස්තු ඉහළ යාම හේතුවෙන් 2026 ජුනි මාසය වන විට මෙරට සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත සියයට 6.8 දක්වා වර්ධනය වී තිබේ.
ඉදිරි කෙටි කාල පරිච්ඡේදය තුළදී උද්ධමන අනුපාතය අපේක්ෂිත සියයට 5 සීමාවට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි වුවද, පසුව එය ක්‍රමයෙන් ඉලක්කගත මට්ටම කරා පහත වැටෙනු ඇති බවට ගණන් බලා ඇත. මෑතකදී දක්නට ලැබුණු මෙම උද්ධමන වර්ධනයට මූලික වශයෙන් සැපයුම් පාර්ශ්වයේ බලපෑම් හේතු වුවද, ආර්ථිකය තුළ පැවති ඉල්ලුම් තත්ත්වයන්ද ශක්තිමත් වී ඇති බව මහ බැංකු නිරීක්ෂණවලින් හෙළි වේ.
බාහිර ආර්ථික ක්ෂේත්‍රය දෙස බැලීමේදී, මැදපෙරදිග අර්බුද හමුවේ එල්ල වූ පීඩනය යම් ප්‍රමාණයකට අවම වී තිබුණද, නැවත ඇතිවන ආතතීන් නිසා ඉදිරි කාලය පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත ස්වභාවයකි. අධික ඉන්ධන ආනයන වියදම් හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් වීම සහ සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් මන්දගාමී වීම නිසා 2026 අප්‍රේල් මාසයේ සිට බාහිර ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, මෑතකදී ගන්නා ලද ප්‍රතිපත්තිමය පියවරයන් හේතුවෙන් මෝටර් රථ ඇතුළු විවිධ භාණ්ඩ ආනයනය සඳහා වන ඉල්ලුම ඉදිරියේදී අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම 2026 වසරේ මේ දක්වා කාලය තුළ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශක්තිමත්ව පැවැති අතර, විදේශ ණය සේවා ගෙවීම් සිදු කරන අතරතුරම ජුනි මස අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.45 ක් ලෙස සටහන් විය. මීට අමතරව පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය යම් තරමකට ස්ථාවර මට්ටමක පැවැති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.