borella-magazine-is-also-a-ring-in-the-prison

කොළඹ බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ අද (10) දහවල් කාලයේදී රැඳවියන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, මෙම නොසන්සුන්කාරී තත්ත්වය මුලින්ම හටගෙන ඇත්තේ රැඳවියන් දෙදෙනෙකු අතර වන අතර පසුව තවත් රැඳවියන් දෙදෙනෙකු ද මෙම ගැටුමට සම්බන්ධ වී ඇත.

කෙසේ වෙතත්, මෙම පිරිස අතර මෙවැනි රණ්ඩුවක් ඇති වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.




මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් වහාම වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ. එහිදී ප්‍රතිකාර ලැබූ රැඳවියන් තිදෙනෙකු සුවය ලැබීමෙන් පසු නැවතත් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති අතර, බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූ අනෙක් රැඳවියා තවදුරටත් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මෙම සිදුවීමත් සමඟ බන්ධනාගාරය තුළ පවතින දැඩි ඉඩකඩ හිඟය පිළිබඳව ද බන්ධනාගාර ආරංචි මාර්ග මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියි. පවතින පහසුකම් අනුව මැගසින් බන්ධනාගාරය තුළ උපරිම වශයෙන් රඳවා තැබිය හැක්කේ රැඳවියන් 600 දෙනෙකු පමණක් වුවද, අද දිනය වන විට එහි සාමාන්‍ය ධාරිතාව විශාල වශයෙන් ඉක්මවා යමින් රැඳවියන් 3,100 ක පමණ පිරිසක් එහි රඳවා සිටින බව වාර්තා වේ.