more-than-five-thousand-people-are-on-waiting-lists-for-kidney-stone-removal-surgery

ශ්‍රී ලංකාව තුළ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා දින ලබා ගැනීමට බලා සිටින රෝගීන් සංඛ්‍යාව මේ වන විට පන්දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. රට තුළ පවතින රෝහල්වල සීමිත පහසුකම් සහ ප්‍රතිකාර සඳහා පවතින අධික ඉල්ලුම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙම ශල්‍යකර්ම පෝලිම පාලනය කිරීමේ අරමුණින් සහ රට පුරා සිටින රෝගීන්ට සේවා සැපයීමේ අරමුණින් මිරිගම ජාතික වකුගඩු ගල් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිත අතර, එය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 12 වන දින සිදු කෙරේ.




මෙම නවතම මධ්‍යස්ථානය වකුගඩු ගල් රෝගීන්ට අවශ්‍ය සියලුම සේවාවන් ලබා දිය හැකි විශේෂිත මධ්‍යස්ථානයක් ලෙස සැලසුම් කර ඇති අතර, එමඟින් ශල්‍යකර්ම සඳහා පවතින දීර්ඝ පොරොත්තු ලේඛනය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ බහුලව වාර්තා වන සෞඛ්‍ය ගැටලුවක් වන වකුගඩු ගල් රෝගය හේතුවෙන් ශල්‍යකර්ම අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පවතී. දැනට දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක තිහකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුවද, ශල්‍යගාර පහසුකම්වල පවතින හිඟය සහ දියුණු වෛද්‍ය තාක්ෂණය වෙත ප්‍රවේශ වීමේ සීමාකම් නිසා ඉල්ලුමට සරිලන ප්‍රතිකාර ලබා දීම අභියෝගයක් වී තිබේ.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ මූලික පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ කාර්ය සාධක බලකාය වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මගපෙන්වීම යටතේ මෙම කේන්ද්‍රීය වකුගඩු ගල් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට තීරණය කෙරුණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා මුත්‍රාශයීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLAUS) විසින් අවශ්‍ය තාක්ෂණික සහයෝගය සහ මඟ පෙන්වීම ලබා දී තිබේ.