arrest-the-misleading-facts-of-the-petition

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් ෆෝ’ නාලිකාව අනාවරණය කළ තොරතුරු මත පදනම්ව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග මත තැබීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමෙහි අඩංගු කරුණු මුළුමනින්ම සාවද්‍ය සහ සත්‍ය වසන් කළ ඒවා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙන්වා දුන්නේ පෙත්සම්කරු පිරිසුදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නැති බවත්, සැබෑ තොරතුරු යටපත් කරමින් අධිකරණය නොමඟ හැරීමට කටයුතු කර ඇති බවත්ය.

මෙම කරුණු අනාවරණය වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.




පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සම පිළිබඳ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව මේ වන විටත් ප්‍රධාන වගකිවයුත්තන් දස දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බව සඳහන් කළාය. එහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අදාළ නඩු විභාගයන් දැනටමත් අවසන් වී ඇති බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙහි දෙවැනි වගඋත්තරකරු වන ශානි අබේසේකර මහතාට පෙත්සම්කරු කෙරෙහි කිසිදු පෞද්ගලික ද්වේෂයක් නොමැති බව පැවසූ රාජ්‍ය නීතිඥවරිය, අබේසේකර මහතාව මාරු කර යවනු ලැබුවේ ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් බවත් ඊට පෙත්සම්කරුගේ සම්බන්ධයක් නොමැති බවත් පැහැදිලි කළාය. එමෙන්ම, මෙම සිදුවීමට සම්බන්ධ අසාත් මවුලානා නමැත්තා තමන් කිසිදිනෙක හමු වී නැති බවට පෙත්සම්කරු ප්‍රකාශ කළද, ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බැවින් පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර ඇති ආකාරය මින් පැහැදිලි වන බව ඇය අවධාරණය කළාය.




පෙත්සම්කරුගේ පාර්ශ්වයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව කරුණු මතු කරමින් ඔහුගේ නිදහස සීමා වන බවට වන අදහස ජනාධිපති නීතිඥවරයා විසින් වාර හතළිහකට වඩා ප්‍රකාශ කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී ඉල්ලා සිටියාය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම මඟින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තමන්ට මෙරටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණු බවයි. මෙම පසුබිම තුළ, ‘චැනල් ෆෝ’ නාලිකාවේ හෙළිදරව් කිරීම් පදනම් කරගනිමින් ඕනෑම මොහොතක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තැබීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු කියා සිටී.



තමන් රාජ්‍ය නායකයාව සිටි සමයේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට ලක්වූ ශානි අබේසේකර මහතා වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බැවින්, ඔහුගෙන් සාධාරණ හෝ අපක්ෂපාතී පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙත්සම්කරු පෙන්වා දෙයි. තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති තත්ත්වයක් තුළ සිදු කරන ඕනෑම අත්අඩංගුවට ගැනීමක් ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි සහ නීති විරෝධී බව පවසන හිටපු ජනාධිපතිවරයා, පෙත්සම් විභාගය නිමවන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් සහ ස්ථිර රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා අධිකරණයට කැඳවන ලෙසත් ඉල්ලා සිටී. මෙම නඩු වාරයේදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්‍රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරු පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.