කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයකුට අයත් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන අනුජ දිනුජිත් බණ්ඩාර නමැති සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (22) අවසර ලබා දුන්නේය.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා ලබා දුන් නියෝගයට අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය. මුලින් කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සිද්ධියට අදාළ විමර්ශන වෙනත් කොට්ඨාසයකට භාර දී ඇති බව කොටුව පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ තහවුරු කරන ලදී.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශන භාරගත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සැරයන් බණ්ඩාර (74773) මහතා කරුණු දක්වමින්, අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බැවින් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට පැය 24ක රැඳවුම් නියෝගයක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ තර්ක කළේ තම සේවාදායකයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු බවත්, මෙම කොල්ලකෑමට හෝ පැමිණිලිකාර චීන ජාතිකයාට ඔහු කිසිදු සම්බන්ධයක් නැති බවත්ය. කොළඹ රාජකීය විද්‍යාලයේදී තම සේවාදායකයා සමග එකට ඉගෙනගත් ප්‍රමිල් නමැති මිතුරා මාර්ගයෙන් හඳුනාගත් චීන ජාතිකයාගේ ආරක්ෂාව සඳහා සැකකරු හඳුනන අජිත් නැමැත්තෙකු සම්බන්ධ කර දුන් බවත්, ඉන් ඔබ්බට සිදුවූ කිසිදු සිදුවීමකට තම සේවාදායකයාගේ සම්බන්ධයක් නැති බවත් නීතිඥවරු වැඩිදුරටත් කියා සිටියහ.
එසේම, සැකකරු මෙම අපරාධයට සම්බන්ධ වූ ආකාරය පැහැදිලි කෙරෙන කිසිදු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් හෝ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවද විත්තියේ නීතිඥවරු අවධාරණය කළහ. ඉදිරිපත් වූ දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සැකකරු පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින්, අද (23) දින ඔහු නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.