
නීති විරෝධී ලෙස කසිප්පු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විසිඑක් හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ඇතුළු ඇගේ මව අක්කරායන්කුලම් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය, අයියානාර්කුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ සරසවි සිසුවිය සන්තකයේ තිබී නීති විරෝධී කසිප්පු මිලිලීටර් 3,750 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ සිසුවිය නොබොබිනා වචනයෙන් බැන වැදී කලහකාරී ලෙස හැසිරෙමින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර තිබේ.
එමෙන්ම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත සිසුවියගේ මව ද එම ස්ථානයේදීම පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.