a-level-not-postponed---petition-for-postponement-is-dismissed

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට පවා නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.




මෙවර උසස් පෙළ විභාගයට පළමු සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් නව දෙනෙකු විසින් අදාළ පෙත්සම අධිකරණය හමුවට යොමු කර තිබුණි. පසුගිය කාලසීමාවේදී ප්‍රදේශ රැසකට බලපෑ දිට්වා සුළි කුණාටුව සහ රට තුළ පැවැති ඉන්ධන හිඟය වැනි හදිසි තත්ත්වයන් හේතුවෙන් පාසල් පවත්වාගෙන යාමට බාධා එල්ල වූ බව පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ. නියමිත පාසල් දින ගණන සම්පූර්ණ නොවූ බැවින් විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව පවසමින්, දැනට ප්‍රකාශිත විභාග කාලසටහන අවලංගු කර විභාගය මාස දෙකකින් කල් දැමීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව පෙත්සම්කාර සිසුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 378,000ක් පමණ ලියාපදිංචි වී සිටින අතර, ඉන් ඉතා කුඩා සිසුන් සංඛ්‍යාවක් පමණක් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. විභාගයට පෙනී සිටීම සඳහා සියයට 80ක පාසල් පැමිණීමක් අත්‍යවශ්‍ය වුවද, පෙත්සම්කාර සිසුන්ගේ පැමිණීම සියයට 7.2, සියයට 50 සහ සියයට 53 වැනි පහළ මට්ටම්වල පවතින බව හෙළි කළ සොලිසිටර් ජෙනරාල්වරයා, නිසි පරිදි පන්තිවලට පවා සහභාගී නොවූ පිරිසක් අධිකරණයට කරුණු වසන් කරමින් කාලය මදි බව පැවසීම සාධාරණ නොවන බව අවධාරණය කළේය. තවද, මෙම විභාගය කල් දැමීම මඟින් ඉදිරි උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන බවද රජයේ පාර්ශ්වය වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.




අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය ජූලි 16 වනදා මෙම පෙත්සම සලකා බලන ලදී. දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ ලිඛිත දේශන සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම අද (23) දින දක්වා කල් තබන ලදී.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයේ ඉල්ලීමට නීතිමය පදනමක් නොමැති බව සලකා බලමින්, අදාළ පෙත්සම විභාගයට පවා නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද දින සිය අවසන් තීන්දුව ලබා දුන්නේය.