a-fine-of-5-lakhs-and-imprisonment-for-uploading-movies-on-the-internet-without-permission

සිනමා කෘති නිෂ්පාදකවරුන්ගේ පූර්ව අවසරයකින් තොරව අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය වෙත චිත්‍රපට මුදාහරින පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සහ සිරදඬුවම් පැමිණවීමට රජයේ සූදානමක් පවතී. දැනට පවතින නීති රීතිවලට අනුව මෙවැනි වැරදි සඳහා පනවනු ලබන රුපියල් පන්දහසක දඩය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, එය අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමටත්, වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් හෝ මාසයක සිරදඬුවමක් ලබාදීමට හැකි වන පරිදි නීතිමය සංශෝධන සිදු කිරීමට මේ වන විට යෝජනා වී ඇත.




චිත්‍රපට ක්‍ෂේත්‍රය මුහුණ පා ඇති මෙම දැවැන්ත අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. එම සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා සහ සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා මෙරට සිනමා නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් විසිපස් දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අනාවරණය වූයේ වර්තමානය වන විට කිසිදු බියකින් හෝ හිරිකිතයකින් තොරව, නිර්මාණකරුවන්ගේ අනුමැතියකින් තොරව චිත්‍රපට විවිධ වෙබ් අඩවි, OTT මාධ්‍ය සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙත යොමු කිරීමේ බරපතළ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි. මෙම නීතිවිරෝධී ක්‍රියාවන් හරහා ඇතැම් පුද්ගලයන් රුපියල් දහස් ගණනින් මුදල් උපයන නමුත්, ඔවුන්ට එරෙහිව පවතින දඩ මුදල ඉතා සුළු අගයක් ගැනීම හේතුවෙන් වැරදිකරුවන් නීතිය නොසලකා හරිමින් දිගින් දිගටම මෙම ජාවාරමේ නිරත වන බව මෙහිදී පෙන්වා දෙන ලදී.




පවතින මෙම තත්ත්වය කඩිනමින් පාලනය කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය සහ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය වී ඇත. ඒ අනුව, මෙම සති අන්තයෙන් පසු එළඹෙන සතියේදී අධිකරණ අමාත්‍යවරයා, ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ සංස්කෘතික අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මෙම නව නීති පද්ධතිය බලාත්මක කිරීම මඟින් සිනමා නිර්මාණ සොරකම් කිරීම (Piracy) වැළැක්වීමට මෙන්ම සමස්ත සිනමා ක්‍ෂේත්‍රයේම ප්‍රගමනයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.