kalpitiya-football-player-who-lost-his-life-after-a-fishing-boat-overturned

කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ රජීනි ජේසු සන්දුක අල්මේදා නමැති තරුණයා උච්චමුනේ දූපත ආසන්නයේදී සිදු වූ ධීවර යාත්‍රා අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවා වූ සන්දුක, පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියටම ගොස් රටට කීර්තියක් අත්කර දීමේ දැඩි අභිලාෂයකින් පසු වූ අයෙකි.




පාසල් අධ්‍යාපනයෙන් පසු තම පියා මෙන්ම ධීවර රැකියාවට යොමු වූ මෙම තරුණයා, පාපන්දු ක්‍රීඩාවට දක්වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් හිතවතුන් පිරිසකගේ සහාය ඇතිව කොළඹ ප්‍රදේශයට ගොස් රැකියාවක නිරත වෙමින් ක්‍රීඩා සමාජයකට එක්ව ඇත. එහිදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ජයග්‍රහණ රැසක් අත්කර ගත් ඔහු මෑතකදී මැලේසියාවේ පැවැති පාපන්දු තරගාවලියකට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී තිබේ.

නිවාඩුවක් සඳහා පසුගිය 11 වැනිදා නිවසට පැමිණි සන්දුක, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පිහිටි පල්ලිකන්ඩල් සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට යාමට සැලසුම් කර තිබුණ ද මිතුරන් දෙදෙනෙකු නියමිත වේලාවට ආපසු නොපැමිණීම හේතුවෙන් එම ගමන මඟහැරී ඇත. සඳුදා (13) දින නැවත කොළඹ බලා රැකියාව සඳහා යාමට සූදානමින් සිටි ඔහු, 12 වැනිදා උදෑසන ආහාරය ගැනීමෙන් පසු නිවසින් අතුරුදන්ව ඇති අතර පසුව ඥාතීන් කළ සොයාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගමන් ගත් බෝට්ටුව පෙරළී අනතුරට ලක්ව ඇති බවයි.




පොලිස් විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගේ බීඩි කොළ තොගයක් රැගෙන ඒමට ගොස් අනතුරට පත් වූ වෙනත් යාත්‍රාවක් පිළිබඳ සොයා බැලීම සඳහා මෙම පිරිස ගොස් ඇති බවත්, සන්දුක එම සැබෑ අරමුණ පිළිබඳව කිසිවක් දැන සිට නොමැති බවත්ය. අසල්වැසි ඥාති සහෝදරයෙකු විසින් ලබාගත් ඔහුගේ ජංගම දුරකථනය නැවත ලබා ගැනීමට ගිය අවස්ථාවේදී, උච්චමුනේ දූපත අසන්නයේ යාත්‍රාවක් අනතුරට පත්ව ඇති බව පවසා ඔහුව ද මෙම ගමනට උපක්‍රමශීලීව සම්බන්ධ කරගෙන ඇති බව අනාවරණය වේ. කල්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මෙවැනි නීතිවිරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් වටිනා තරුණ ජීවිත රැසක් අහිමි වෙමින් පවතින බව ද විමර්ශනවලදී පෙන්වා දී ඇත.

පුත්තලම මූලික රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී දැඩි සේ කම්පනයට පත්ව හඬා වැලපුණු සන්දුකගේ මව වන නිර්මලා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, තම පුතා පාපන්දු ක්‍රීඩාවෙන් ඉහළම තැනකට ගොස් රටට නමක් ගෙන දෙන බව නිරන්තරයෙන් පැවසූ බවයි. කිසිවෙකුටත් වරදක් නොකළ තම පුතුගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති වුවද, දරාගත නොහැකි මෙම වියෝවෙන් තමන් පත් වූ බලවත් ශෝකය ඇය කඳුළු සලමින් විස්තර කළාය.



අනතුරෙන් පසු අතුරුදන්ව සිටි සන්දුකගේ දේහය පසුගිය 14 වැනිදා සවස උච්චමුනේ දූපතේ වෙරළාසන්නයක තිබී ධීවරයන් පිරිසකට හමු වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාර දී ඇත. 15 වැනිදා සවස දේහය නිවසට රැගෙන ආ අවස්ථාවේදී ඔහුගේ ක්‍රීඩා සිහිනය සිහිපත් කරමින් දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය මත පාපන්දුවක් තබා තිබූ අතර, ඊයේ සවස විශාල පිරිසකගේ ශෝක මධ්‍යයේ කල්පිටිය රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරිණි.