කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර චාරිකාවක් අතරතුර සිදු වූ බස් රථ අනතුරකින් සිය පුත්‍රයා ඇතුළු සිසුන් තිදෙනෙකු මියයෑමේ සිද්ධියට වන්දි ඉල්ලා පියෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය එළඹෙන සැප්තැම්බර් මස 11 වැනිදා දින නියම කර තිබේ. අදාළ පෙත්සම ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම තීරණය ගනු ලැබීය.
අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල, එදිනට කිසියම් විරෝධතාවක් පවතින්නේ නම් ඒවා ගොනු කරන ලෙස අදාළ බස් රථයේ රියදුරාට නියෝග කළේය.
මෙම පෙත්සම අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් නුවන් නැමැති පියෙකු විසිනි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ උපාධිය හදාරමින් සිටි සිය පුත්‍රයා වූ ලෝහිත මිනුර වාහලවත්ත ඇතුළු සිසුන් පිරිසක් පසුගිය 2024 වසරේ නොවැම්බර් මාසයේදී බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ. එහිදී අඹගහහන්දිය ප්‍රදේශයේදී ඔවුන් ගමන් ගත් බස් රථය අනතුරට ලක්වීමෙන් තම පුතු ඇතුළු සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
වගඋත්තරකරුවන්ගේ දැඩි නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බවත්, එමඟින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පියා සිය පෙත්සම මඟින් චෝදනා කරයි. මේ හේතුවෙන් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්, ඉන් අනතුරුව සිදුවූ අගතිය වෙනුවෙන් සාධාරණ වන්දියක් නියම කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී. මෙහි වගඋත්තරකරුවන් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, එහි සනාතන සභාව සහ අනතුරට පත් බස් රථයේ රියදුරා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පියා වෙනුවෙන් නීතිඥ සජුනී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් ගුණතිලක මහතා අධිකරණයේ පෙනී සිටියේය.