ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශගත වන මගීන්ගෙන් අය කරගත් නික්මයාමේ බද්දට (embarkation levy) අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට නොගෙවා, සිය දෛනික කාරක ප්‍රාග්ධනය ලෙස භාවිත කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොඩ්‍රිගෝ මහතා පාර්ලිමේන්තු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කර තිබේ.
දිවයින් හැර යන මගියෙකුගෙන් අය කෙරෙන ඩොලර් 60 ක බදු මුදලින් ඩොලර් 40 ක් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලටත්, ඩොලර් 15 ක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමටත්, ඉතිරි ඩොලර් 5 ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයටත් හිමි විය යුතුය. කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට හිමි විය යුතු ඩොලර් 15 ක ප්‍රමාණය ගෙවීම ශ්‍රීලංකන් සමාගම විසින් පැහැර හැර ඇති අතර, 2025 වසරේ සිට එම ගෙවීම් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.
2024 දෙසැම්බර් මාසයට පෙර මෙලෙස නොගෙවා එකතු වී ඇති හිඟ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් බිලියන 20 කට ආසන්න අගයකි. ආයතන දෙකම සියයට සියයක්ම රජයට අයත් රාජ්‍ය ව්‍යවසායන් බැවින් මේ සඳහා සුදුසු විසඳුමක් සෙවිය යුතුව ඇති බව පෙන්වා දුන් රොඩ්‍රිගෝ මහතා, මගීන්ගෙන් එකතු කරගත් එම මුදල් ශ්‍රීලංකන් සමාගම සිය දෛනික මුදල් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් තබාගෙන තිබූ බව සඳහන් කළේය.
පෞද්ගලික සමාගමක් මෙවැනි ක්‍රියාවක් සිදු කළේ නම් එහි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට පත්වීමට පවා ඉඩ තිබූ බවත්, රාජ්‍ය සමාගම් සම්බන්ධයෙන් මෙවැනි වැරදි පූර්වාදර්ශයන් පවත්වාගෙන යාමට ඉඩ දෙන්නේ මන්දැයි කෝප් කමිටු සාමාජික රවි කරුණානායක මහතා එහිදී ප්‍රශ්න කළ අතර, භාණ්ඩාගාර නිලධාරීහුද එම අදහස සම්පූර්ණයෙන්ම නිවැරදි බව පිළිගත්හ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිසංවිධානය කිරීම සඳහා රජය විසින් මේ වන විට කමිටුවක් පත් කර ඇති අතර, අදාළ හිඟ මුදල් අය කර ගන්නා ආකාරය පිළිබඳව භාණ්ඩාගාර ලේකම්වරයා සමගද සාකච්ඡා පවත්වා තිබේ. මීට අමතරව, රාජ්‍ය බැංකුවලින් ලබාගත් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 175 ක බැඳුම්කරයක් භාණ්ඩාගාරය විසින් භාරගෙන ඇති අතර, ඒවා පියවනු ලබන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි.
ඩොලර් මිලියන 175 ක භාණ්ඩාගාර ඇපකර සහිත බැඳුම්කර සහ ඊට අදාළ පොලිය වෙනුවෙන් රජය විසින් ඩොලර් මිලියන 60 ක් මුදලින් ගෙවා ඇති අතර, ඉතිරි කොටස සියයට 15 ක කප්පාදුවකට (haircut) යටත්ව සියයට 0.4 ක රාජ්‍ය ස්වෛරී බැඳුම්කර ලෙස පියවා ඇත. එම බැඳුම්කරවලින් සියයට 27.4 ක් 2026 අප්‍රේල් මාසයේදීද, තවත් සියයට 27.4 ක් 2027 වසරේදීද, ඉතිරි සියයට 45.2 ක ප්‍රමාණය 2028 වසරේදීද පියවීමට රජයට නියමිතය.