
විදෙස්ගතව පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මත්ද්‍රව්‍ය ගබඩා භාරකරු ලෙස කටයුතු කළ දුරකථන අලුත්වැඩියා ශිල්පියෙකු රුපියල් කෝටි 20ක් පමණ වටිනා 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් ද සමග ඉකුත් 18 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද 26 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 718කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් (97479) පෙරේරා මහතාට ලද විශේෂ තොරතුරකට අනුව, එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ නිවස වටලා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
සැකකරු ළඟ තිබූ යතුරු කැරැල්ලක් ආධාරයෙන් නිවසේ ප්‍රධාන දොරටුවෙන් පිටත පිහිටි කාමරයක් විවෘත කර සිදුකළ සෝදිසියේදී, ගමන් බෑග් දෙකක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබේ. විදේශයන්හි සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන 'කුඩු සළිඳු' සහ 'පානදුරේ රන්දික' යන අය විසින් දිවයිනේ නාගරික හා විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා මෙම තොගය මොහු වෙත භාරදී ඇති බව විමර්ශනවලදී හෙළි විය. ලැබෙන ඇණවුම්වලට අනුව මත්ද්‍රව්‍ය පාර්සල් ලබාදීමට මෝටර් රථයක් පැමිණෙන බව ද ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු අනාවරණය කර ඇත.
අළුබෝමුල්ල, අරුක්ගොඩ, රුක්ගහ තොටුපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා, පානදුර හිරන ප්‍රදේශයේ ජංගම දුරකථන උපාංග වෙළෙඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් කාලයක සිට මෙම මත් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක විශ්වනාත්, පොලිස් සැරයන් (68785) චාමර, පොලිස් කොස්තාපල්වරුන් වන (97479) පෙරේරා, (37380) හේමචන්ද්‍ර, (104557) සිල්වා, (104572) රණසිංහ, (104586) මදුසංක, (104597) කුමාර සහ කාන්තා පොලිස් කොස්තාපල් (11353) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.