
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවූවන් හයදෙනෙකු පල්ලන්සේන කඳවුර වෙත මාරු කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය ගත් තීරණයකට එරෙහිව එම රැඳවූවන් පිරිස උග්‍ර විරෝධතාවයක නිරත වී තිබේ. එහිදී රැඳවූවන් පස්දෙනෙකු තියුණු ආයුධයකින් කැපුම් තුවාල සිදු කරගනිමින් ස්වයං හානි කරගෙන ඇති අතර, ඉතිරි රැඳවියා බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි බෝ ගසකට නැඟී තම විරෝධය පළ කර ඇත.
මෙලෙස ශරීරයට හානි කරගත් රැඳවූවන් පස්දෙනා වහාම බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. බෝ ගසට නැඟී විරෝධතාවයේ නිරත වූ අනෙක් රැඳවියා ඊයේ (19) සවස් වන තෙක්ම ගස මත රැඳී සිටි බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
විකල්ප බන්ධනාගාර වෙත රැඳවූවන් මාරු කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ පවතින අධික තදබදය හේතුවෙනි. සාමාන්‍යයෙන් රැඳවූවන් 900 කට පමණ පහසුකම් ඇති නව මැගසින් බන්ධනාගාරයේ මේ වන විට 2800 කට අධික පිරිසක් රඳවා සිටින අතර, එම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා වරින් වර පිරිස් පල්ලන්සේන සහ බූස්ස බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගැනේ.