රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින්, විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන් සඳහා විශේෂ මාර්ගගත දැනුවත් කිරීමේ සැසි මාලාවක් හෙට (09) සිට ආරම්භ කරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඉදිරි මාස හයක් ඇතුළත විශ්‍රාම ගැනීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් විශ්‍රාම වැටුප් අයදුම් කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව සම්පූර්ණ කිරීම, අවශ්‍ය ලියකියවිලි කල්තියා සකස් කර ගැනීම සහ විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කෙරේ.
වැඩසටහනේ පළමු සැසිය හෙට (09) පෙරවරු 9.30 සිට 11.30 දක්වා Microsoft Teams මාර්ගයෙන් පැවැත්වෙන අතර,විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී නිලධාරීන් සතු වගකීම් සහ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය. රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාව අනුව මෙම වැඩසටහනේ දෙමළ මාධ්‍ය සැසියක් ද ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම දැනුවත් කිරීමේ සැසි සඳහා සහභාගි වන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.