දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ කාවඩි නර්තන අංගය තාවකාලිකව ඉවත් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නිර්දේශ කර තිබේ. ජූලි 25 වැනි දිනැති ලිපියක් මගින් පොලිස්පතිවරයා විසින් කරන ලද මෙම නිල ලිඛිත දැනුම්දීමට අනුව ක්‍රියාත්මක වූ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, අදාළ කාවඩි පෙරහැර අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දේවාලයේ බස්නායක නිලමේ අරච්චිගේ තිළිණ මධුසංක මහතා වෙත දැනුම් දී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ තිබේ. මෙවර කාවඩි කණ්ඩායම් තේරීමේදී 'දෙහි බාලේ මල්ලි' සහ 'ඌණකූරුවේ ශාන්ත' යන සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකෙහි පාර්ශ්වයන් අතර උග්‍ර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වේ. පසුගිය වසරේ පෙරහැර සමයේ විනය විරෝධී ලෙස හැසිරුණු කාවඩි කණ්ඩායම් කිහිපයක් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගැනීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය තවත් තීව්‍ර වී ඇත. මෙවර කාවඩි නර්තන සඳහා කණ්ඩායම් 47 ක් ඉදිරිපත්ව සිටියද, ඉන් කණ්ඩායම් 20 ක්ම ඉවත් කිරීමට බස්නායක නිලමේවරයා ඇතුළු පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කංජිපානි ඉම්රාන්' නැමැත්තා සමාජ මාධ්‍ය වෙත හඬ පට මුදාහැරෙමින්, තමන්ගේ පාර්ශ්වයේ කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව නොදුනහොත් පෙරහැර අතරතුර ගැටලු ඇතිවිය හැකි බවට තර්ජනය කර ඇති අතර පෙරහැර මෙහෙයවන බස්නායක නිලමේවරයාට මරණ තර්ජන ද එල්ල කර තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් 'දෙහි බාලේ මල්ලි' නමැත්තා විසින්ද තර්ජනාත්මක හඬ පට නිකුත් කර ඇති අතර, මෙම හඬ පට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලයන්හිද පුළුල් ලෙස ප්‍රචාරය විය.
මෙම පූර්ව ආරක්ෂණ පියවර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ පවතින බුද්ධි තොරතුරු පදනම් කරගෙන මහජනතාව අතර අනියත බියක් හෝ ආතතියක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම නිර්දේශය කළ බවයි. එමෙන්ම ඓතිහාසික පෙරහැර මංගල්‍ය නැරඹීමට විශාල වශයෙන් විදේශීය සංචාරකයින්ද පැමිණෙන බැවින්, කිසියම් හෝ අපරාධමය ගැටුමක් හටගතහොත් රටට ජාත්‍යන්තරව සිදුවිය හැකි අපකීර්තිය වැළැක්වීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වූ බවද හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.