
මෝටර් රථයකින් තරුණියන් දෙදෙනෙකු යට කර පලා යාමට තැත් කළ හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන මෙම සැකකරු ඊයේ (25) රාත්‍රී කාලයේදී ස්ථාන දෙකකදී මෙම අනතුරු සිදුකර ඇති බව වාර්තා වේ.
පොලිස් තොරතුරුවලට අනුව, පළමු අනතුර හයිලෙවල් මාර්ගයේ මීගොඩ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී සිදුව ඇති අතර, දෙවන අනතුර වටරැක 20 කණුව ප්‍රදේශයේදී සිදුවී ඇත. ඊයේ රාත්‍රී 11.30 ත් 11.57 ත් අතර කාලය තුළ මෙම අනතුරු දෙක සිදුකරමින් තරුණියන් අනතුරට ලක් කොට සැකකරු මෝටර් රථය පදවාගෙන පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.