
කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහයන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමට ගෙන ඇති තීරණය ගැන අදහස් දක්වා තිබේ. ඒ මෙසේය.
"ආයුබෝවන් සියලු දෙනාටම!
ඇත්තටම මේ දවස්වල ක්‍රීඩාව ඇතුළේ තියෙන කැළඹීමත් එක්ක, විශේෂයෙන්ම යුපුන් අබේකෝන් ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන ගොඩක් අය කතා කරනවා.
"ඇයි එහෙම වුණේ? මොන වගේ අසාධාරණයක්ද වුණේ?"
කියන දේවල් ගැන ගොඩක් අය නොයෙකුත් හේතු දක්වනවා.
ඉතින් ඒ අවස්ථාවේදී, ඊයේ විශේෂයෙන්ම සුනිල් ගුණවර්ධන පුහුණුකාරතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. ඒ වෙලාවේ ඇත්තටම මට ලොකු හැඟීමක් ආවා. මොකද මම, දර්ශා, ශ්‍රියානි, සුගත් කියන අපි හැම කෙනෙක්වම සම්බන්ධ කරගෙන තමයි සුනිල් ගුණවර්ධන මහත්තයා ඒ ප්‍රකාශය කළේ.
ඉතින් මේ කතාවත් එක්ක මට ඇත්තටම ලොකු වේදනාවක්, දුකක්, කේන්තියක් වගේම ක්‍රීඩාවේ ඇත්ත-නැත්ත දැන් මට බයක් නැතුවම ප්‍රකාශ කරන්න ඕන කියන හැඟීම ආවා. ඒකට හේතුව, මම දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන ඉන්නේ. මම මලල ක්‍රීඩාවේ කිසිම දේකට සම්බන්ධ නැහැ. මම කටයුතු කරන්නේ අපේ ජාතික ක්‍රිකට් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒ නිසා මට හිතුණා මෙහි ඇත්ත-නැත්ත මොකක්ද, හරි-වැරැද්ද මොකක්ද කියලා පැහැදිලි කරන්න. පාලකයන්ගේ අතීත ක්‍රියාකලාපය සහ යථාර්ථය
ඉතින් සුනිල් ගුණවර්ධන මහත්තයා කියපු දේවල් ගැන මට පුද්ගලිකව කිසිම තරහක් නැහැ. නමුත්, ඒගොල්ලන්ගේ පරිපාලන කාලසීමාවේදී ලොකු නිලතලවල කටයුතු කරද්දී ඒගොල්ලෝ ක්‍රීඩාව පරිපාලනය කරපු ආකාරය ගැන මහා ලොකුවට උදම් අනමින්, ලොකු වටිනාකමක් දීලා කතා කළා. ඇත්තටම ඒකද යථාර්ථය?
මට හරි දුකයි. මට තාම අවුරුදු 50යි. මට ඩිමෙන්ෂියාව (මතකය අඩුවීමේ රෝගය) නැහැ! මට හොඳ කල්පනාවක් තියෙනවා. මට හොඳ මතකයක් තියෙනවා.
මම ලෝකය හතර වතාවක් දිනපු කෙනෙක්! එක වතාවක් නෙමෙයි, දෙවතාවක් නෙමෙයි, අහම්බෙන් නෙමෙයි!
ලෝක ශූරතා තරගාවලි පදක්කම් 2යි
වර්ල්ඩ් කප් (World Cup) 1යි
ඔලිම්පික් (Olympic) පදක්කමයි
ඒ මදිවට ආසියානු පදක්කම් ගොඩයි.
ඉතින් මේ කරුණු කාරණා එක්ක සුනිල් ගුණවර්ධන මහත්තයා කිව්වා "මේ සුසන්තිකා, සුගත්, ශ්‍රියානිලා, දර්ශලා දිනන්නත් කලින් තමයි මෙයාලට ගෙවල්-දොරවල්, වාහන දුන්නේ" කියලා. එතකොට ඔබතුමාද ඒවා දුන්නේ? ඔබතුමා දුන්නද? මේක ඇත්තද?
මම කියන්නම්, මට නම් කවදාවත් දිනන්න කලින් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. මට විතරක් නෙමෙයි, අනික් සහෝදර ක්‍රීඩකයන්ටත් හම්බ වුණේ නැහැ. හැබැයි ඔව්, ඔබතුමාගේ ගෝලයා දර්ශා! ඒක ඇත්ත. දර්ශාට දිනන්න කලිනුත්, දිනුවටත් වඩා දේවල් ලැබුණා.
මේක කියන්නම ඕනේ. අපි මෙච්චර දවසක් ඇත්තටම මෙහෙම කතා කරන්න ආවේ නැහැ. "අපි අතර තරහද, කුහකද, ඊර්ෂ්‍යාද?" කියලා ඇහුවා. නැහැ! ඔබතුමාලාගේ පරිපාලන කාලයේදී ඔබතුමාලා තමයි පංගු බේරුම් ඇති කළේ. ඔබතුමාලා තමයි ක්‍රීඩකයන් නැති කළේ. ජයග්‍රහණ සහ ලැබුණු ඇගයීම්වල ඇත්ත-නැත්ත
ඉතින් මට කවදාවත් දිනන්න කලින් ගෙවල්-දොරවල් දුන්නේ නැහැ. ශ්‍රියානි කුලවංශට දුන්නෙත් නැහැ. හැබැයි මේ කාලයේ මම දන්නේ නැහැ අසිහියෙන් කතා කරනවාද කියලා!
මම 1997 ඇතැන්ස් හි පැවැත්වුණු ලෝක ශූරතා තරගාවලිය දිනුවට පස්සේ තමයි මට කොළඹින් ගෙයක් හම්බ වුණේ, වාහනයක් හම්බ වුණේ. ඒ කෝටියක වටිනාකමට සම්පූර්ණ දේවල් ඒකට ඇතුළත් වුණේ ලෝකෙන්ම දිනුවට පස්සේ. හැබැයි දමයන්ති දර්ශා දින්නේ ආසියාවේ විතරයි. 'Asian Games Gold Medal' ගත්ත කීදෙනෙක් අපේ රටේ ඉන්නවාද? හැබැයි එතුමියට 'Sports car' පවා දුන්නා!
මට නම් එහෙම හම්බ වුණේ නැහැ. මට ඒ කාලේ එලිෆන්ට් හවුස් (Elephant House) ආයතනයෙන් දුන්නු අනුග්‍රාහකත්ව මුදලින් ලීස් (lease) කරලයි මම වාහනයක් ගත්තේ.
ඒ නිසා ඔබතුමාලා ක්‍රීඩාවට කරපු අසාධාරණය, ක්‍රීඩකයන්ට කරපු අසාධාරණය අමතකද? ඒ හින්දා කරුණාකරලා දැන්වත් කට වහගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න! මොකද ඕගොල්ලෝ ක්‍රීඩාව කෑවා; ක්‍රීඩකයන් නැති කළා.
ඕගොල්ලෝ ක්‍රීඩකයන්ට දුන්නු මානසික ආතතිය මතකද? ඕගොල්ලෝ ක්‍රීඩකයන් කීදෙනෙකුව කැපුවද? වැඩිය ඕන නැහැ, මගේ සම්පූර්ණ ක්‍රීඩා දිවියම නැවැත්තුවේ ඔබතුමාලා කරපු අසාධාරණකම් හින්දා!
ඒ විතරක් නෙමෙයි, අද ශ්‍රියානි කුලවංශ වුණත් පරිපාලනයට ඇවිත් ඔබතුමා එක්ක ඔය කතා කළාට, සම්බන්ධකම් පැවැත්වුවාට, මම හිතන්නේ ඒ දවස්වල ශ්‍රියානි වැඩියෙන්ම අකමැති වුණු පුද්ගලයා ඔබතුමා. මොකද ඒ තරමට අසාධාරණකම් කළා.
අනික ඔබතුමා ක්‍රීඩිකාවන්ට මොන තරම් අසාධාරණයක් කරලා තියෙනවාද? ඔබතුමා නිසා ක්‍රීඩිකාවෝ කීදෙනෙක් ක්‍රීඩාවෙන් සමුගෙන තියෙනවාද? ඔබතුමා පුද්ගලිකව මානසික ආතතිය ඇති කරලා, හිරේ යවලා කරපු දේවල් ගැන ඒ දෙමව්පියෝ අනාගතයේදී කතා කරයි, කියයි! ඔබතුමා ළඟට ක්‍රීඩිකාවක් පුහුණුවට නොයන තරමට අතීතයේ කරුණු කාරණා සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සු තාම මැරිලා නැහැ. ඒ නිසා කරුණාකරලා ක්‍රීඩාවේ ඇත්ත-නැත්ත කතා කරන්න, බොරු කියන්න එපා! වර්තමාන තත්ත්වය සහ යුපුන් අබේකෝන් ගැන
හැබැයි, යුපුන් අබේකෝන් කියන්නේ දකුණු ආසියාවෙන්ම මීටර් 100 තත්පර 10ට අඩුවෙන් දුවපු ක්‍රීඩකයෙක්. ඒක ඇත්ත. නමුත් එහෙම දිව්වා කියලා ලෝක තරගවලට ගිහින් පරිසාධන මට්ටමකට ඇවිත්, ලෝකයේ හොඳම 100 දෙනා අතරවත් එයා ඉන්නවාද දන්නේ නැහැ.
ඉතින් "ඒ ක්‍රීඩකයාට අසාධාරණයක් වුණා, එයාට දුන්නේ නැහැ, ගෙවල් දුන්නේ නැහැ, සල්ලි දුන්නේ නැහැ" කියලා කියන එක ඇතුළෙත් මට නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද, අපේ කාලයේ වුණත් අපි ලෝක මට්ටමින් පදක්කම් දිනුවාම තමයි අපට ඒ වගේ තැන් සහ අවස්ථාවන් ලැබුණේ.
ඉතින් මෙහෙම මේ උදවිය කතා කරද්දී හරිම වේදනයි. "අපි එහෙම කළා, මෙහෙම කළා" කිව්වාට, නැහැ! ඕගොල්ලෝ කරපු දේවල් නිසා තමයි ක්‍රීඩාව නැති වුණේ.
හැබැයි මම ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන කෙනෙක්. ඕගොල්ලෝ දුන්නු අභියෝගම තමයි මට ශක්තියක් වුණේ. ඕගොල්ලෝ දුන්නු ප්‍රශ්නම තමයි මට ශක්තියක් වුණේ. ඕගොල්ලෝ කරපු අඩන්තේට්ටම්වලින් මාව නැති කරන්න හැදුවා. මට ප්‍රශ්නයක් ආපු වෙලාවේ නිලධාරීන්ව මගේ ඇඟේ කෙටෙව්වෙත් ඕගොල්ලෝමයි. ඒ වගේ දේවල් කරලා ඕගොල්ලෝ මුළු ක්‍රීඩාවටම අසාධාරණයක් කළා. අද ක්‍රීඩාවට කිසිම දෙයක් නොකරපු ගාණට ඉඳගෙන, ක්‍රීඩකයන්ට වස-විස බෝ කළේ ඕගොල්ලෝ. ඒ න්‍යායම තමයි දැන් මේගොල්ලොත් අරන් යන්නේ. වර්තමාන පාලනය සහ අතීත මතක
ඒ නිසා මම කියන්නේ, ඇත්තටම වර්තමාන ක්‍රීඩා ඇමැතිතුමා හරිම සාධාරණයි. මොකද මම බලන් ඉන්නවා, මට දැනෙනවා, පේනවා, ඇහෙනවා එතුමා ක්‍රීඩාවට පුදුම විදිහට උදව් කරනවා. ඒක බලාගෙන ඉන්න බැරි මිනිස්සු ඒක විවිධ විදිහට විවේචනය කරනවා කියලා මට හිතෙනවා.
දැන් සුනිල් ගුණවර්ධන මහත්තයා කියනවා "යුපුන් කියන්නේ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන්, බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයෙක්" කියලා.
මම 2000 ඔලිම්පික් තරගයට ගියාම කණ්ඩායම භාරව හිටියේ ඔබතුමා නේද? එදා රැස්වීම්වලදී නිකන්වත් මගේ ඉස්සරහා කිව්වද, "සුසන්තිකා දැන් අවසාන වටයට තේරිලා ඉන්නේ, පදක්කමක් ගන්න යන්නේ, අපි හැමෝම උදව් කරන්න ඕනේ" කියලා? ඕගොල්ලෝ එහෙම කිව්වද? දැන් ඕගොල්ලෝ කියනවා යුපුන්ට පදක්කමක් ගන්න පුළුවන් කියලා. එදා මම දුවන්න ඉද්දි ඔබතුමාට කියන්න පුළුවන් වුණාද "හැමෝම ආශීර්වාද කරන්න, සුසන්තිකාට ශක්තියක් වෙන්න, සුසන්තිකා දිනන්න යන්නේ" කියලා?
නැහැ! ඒ නිසා මතක තියාගන්න; ඔයාට අවුරුදු 75ක් වුණාට මට තාම 50යි. මට හොඳ කල්පනාවක් තියෙනවා. ඕගොල්ලෝ ක්‍රීඩාවට කරන්න පුළුවන් සියලු නැස්පැත්ති කළා, සියලු අසාධාරණකම් කළා, සියලු අකුසලකම් කළා.
එවැනි කාලයක එවැනි ජයග්‍රහණයක් ලබපු මට ලංකාවේ සුදුසු තැනක් දුන් ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ සියලු දෙනාවම මම මේ වෙලාවේ ආඩම්බරයෙන් සිහිපත් කරනවා.
මගේ දරුවෝ දෙන්නත් එක්ක අභිමානවත් ඔලිම්පික් හා ලෝක පදක්කම්ලාභිනියක් ලෙස ජීවත් වෙන්න මට විතරක් නෙමෙයි, සමස්ත ක්‍රීඩාවෙන්ම ජයග්‍රහණය කරපු අපේ ක්‍රීඩකයන් කීදෙනෙකුට කෝටි ගණන් දුන්නද! කාටවත් ස්තූති කරන්නවත් මතකයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. මම කළගුණ මතක තියෙන ක්‍රීඩිකාවක්! ඒ විතරක් නෙමෙයි, යුපුන්ටත් ඩොලර් ලක්ෂයක් දුන්නා. ඔව්, ඒක අමතකද?
එතකොට එවැනි උදව් කරපු මිනිස්සු ඉද්දි, ඕගොල්ලෝ ක්‍රීඩාව නැති කරලා කට කයිවාරු ගහන්න එපා! මට හරිම වේදනයි. මොකද අපි තාම ජීවතුන් අතර ඉන්නවනේ. ඒ නිසයි මම මේකට හඬක් නඟන්නේ. අවසාන වශයෙන්
ඉතින් ක්‍රීඩාවට ඇත්තටම වර්තමානයේ ලැබී තිබෙන තැන ඉහළයි. අද වර්තමානයේ ඔලිම්පික් කමිටුවේ සහ මලල ක්‍රීඩාවේ සිද්ධ වෙන දේවල් දිහා ඇත්තටම නිහතමානීව, සන්සුන්ව, සතුටින් බලන් ඉන්න පුළුවන්.
ඕගොල්ලෝ වැරදි ආදර්ශ, වැරදි ආකල්ප දෙමින්, ක්‍රීඩකයන්ට අසාධාරණකම් කරලා, දැන් ගෙදරට වෙලා තේ කෝප්පයක් බීගෙන, කරපු වැරදි හා දුෂ්ටකම් ගැන "අනේ දැන්වත් අපි පිනක් කරගන්න ඕනේ" කියලා හිතන්නේ නැතුව මිනිස්සුන්ට ඔය විදිහට කතා කරන්න එපා!
තමන් කරපු දේවල්, තමන් කරපු වැරදි මතක තියාගන්න. මිනිස්සු බොරුව රජ කරන්න හදද්දී මට හරිම වේදනයි. මට චරිත සහතික ඕන නැහැ; මාව විවේචනය කරන්න! මම ජයග්‍රහණය කළා වගේම ඇත්ත කතා කරනවා. ඇත්ත තිත්ත වෙයි; ඒකට ප්‍රශ්නයක් නැහැ. මට කාගෙන්වත් ලකුණු දාගන්න ඕන නැහැ, කවුරුත් මාව ඔළුවේ තියාගන්න ඕනත් නැහැ.
ක්‍රීඩාවේ උත්තරීතර අනාගතයට, මේ වර්තමානයෙන් ලැබෙන උදව් සහ ක්‍රියාමාර්ග හොඳටම ප්‍රමාණවත්.
හැබැයි මම විශ්වාස කරනවා, මේ වර්තමාන පරම්පරාව සෝෂල් මීඩියා (Social Media) එක්ක කටයුතු කරන ආකාරය ගැන. අපි Open Championship, Asian Games, Asian Championship කොච්චර නම් ගියාද, පදක්කම් ගෙනාවද! ඒවා අපි කවදාවත් එහෙම සෝෂල් මීඩියා දාලත් නැහැ, කියාගෙන ගියෙත් නැහැ. මිනිස්සු ඒවා දැනගත්තේ රූපවාහිනියෙන් සහ පත්තරවලින්.
ඉතින් ඒ නිසා, කරුණාකරලා වර්තමානයේ අපට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්න එකම ක්‍රීඩකයා වන රොමේෂ්ට අපි ආඩම්බරයෙන් ශක්තියක් වෙන්න ඕනේ. එයාට ආශීර්වාද කරන්න ඕනේ, ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේදී රත්තරන් පදක්කම දිනාගන්න ලැබෙන්න කියලා! අනික් ක්‍රීඩකයන්ටත් යම් ජයග්‍රහණයක් ලබාගෙන රටට ගෞරවයක් ගේන්න පුළුවන් වේවා කියලා පතනවා.
ඒ වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, ක්‍රීඩාවේ අනාගතය, වටිනාකම සහ එහි සියලු වටිනාකම් මේ ක්‍රීඩකයන්ට වැටහේවා! ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම අත්වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
– මම, සුසන්තිකා ජයසිංහ (ක්‍රීඩාවේ නාමයෙන්)