
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් නිලධාරියකු වූ චන්දන දීපාල් වික්‍රමරත්න මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. 1986 වසරේ ජූනි මස 16 වැනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්ව වසර 60 සම්පූර්ණ වන තෙක් දීර්ඝ කාලයක් සේවය කළ ඒ මහතා, පසුගිය 17 වැනිදා උදෑසන මාලඹේ තලාහේන පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකට ලක්ව අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය වූ දින උදෑසන 7.00 ට පමණ හිටපු පොලිස්පතිවරයා පරීක්ෂා කර බැලීමේ අරමුණින් සිය ආරක්ෂක නිලධාරියා සතු ගිනි අවිය ඉල්ලාගෙන තිබේ. අනතුරුව ඔහු ආරක්ෂක නිලධාරියාට පැන් බෝතලයක් රැගෙන එන ලෙස දන්වා ඇති අතර, එම නිලධාරියා පැන් බෝතලය ගැනීමට ගිය අවස්ථාවේදී වෙඩි තැබීම සිදුවී ඇති බව කියැවේ. ගිනි අවිය අතපසුවීමකින් ක්‍රියාත්මක වූවාද නැතහොත් ඔහු විසින්ම වෙඩි තබාගත්තාද යන්න තවමත් අපැහැදිලි අතර, සාමාන්‍යයෙන් සියදිවි නසාගැනීම්වලදී හිසට හෝ ගෙලට වෙඩි තබාගත්තද, මෙම සිදුවීමේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ පපුවේ ප්‍රදේශයටය.
වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වයි. මාලඹේ පොලිසිය මගින් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සිද්ධිය වූ ස්ථානය සහ නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ සිරුර නිරීක්ෂණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර, මරණයට හේතු දක්වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට නියෝග කළ අතර, දේහය ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා හිටපු පොලිස්පතිවරයාගේ පුත් විනුර වික්‍රමරත්න මහතා වෙත භාරදෙන ලෙසද නියෝග කෙරිණි.
තලාහේන නිවසේ තැන්පත් කිරීමෙන් පසුව, හිටපු පොලිස්පතිවරයාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබූ අතර ඥාතීන්, හිතමිතුරන්, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු මැති ඇමැතිවරුන් හා පොලිස් ප්‍රධානීන් රැසක් අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියහ. සියදිවි නසාගැනීමකදී පොලිස් ගෞරව උත්තමාචාර හිමි නොවන මුත්, මෙහිදී දිවි නසාගැනීමට තරම් ප්‍රබල හේතුවක් අනාවරණය වී නොමැති වීමත්, අතපසුවීමකින් සිදුවූ අනතුරක් විය හැකි බවට පවතින සැකයත් හේතුවෙන්, අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා තහවුරු කළේය.
හිටපු පොලිස්පතිවරයාගේ පුතුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඔහු යම් සිත්තැවුලකින් සිටියද, එය මෙවැනි විනාශකාරී පියවරකට හේතුවක් නොවන බව විමර්ශන නිලධාරීන්ගේ මතය වී ඇත. එමෙන්ම, සිද්ධියට පෙර නිවසට පැමිණි පුද්ගලයන් පිළිබඳවද පරීක්ෂණ පැවැත්වේ. දේහයට ගෞරව දැක්වීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ, දින කිහිපයකට පෙර තමන්, රංග කලන්සූරිය සහ සී.ඩී. වික්‍රමරත්න මහතා හමුවී පැය දෙකක් පමණ සුහදව කතාබහ කළ බවත්, එහිදී කිසිදු වෙනසක් නොපෙනුණු බවත්ය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශිෂ්ට සේවයක් ඉටුකළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු අද (20 වැනිදා) පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.