දෙහිවල - ගල්කිස්ස 'නිසල සෙවණ' පොදු සුසාන භූමියේ සේවයේ නිරතව සිටි මුරකරුට සුදු පැහැති ඇඳුමින් සැරසුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ සවස සිදුකළ වෙඩි තැබීමකින් ඔහු බරපතළ තුවාල ලබා ඇති බව දෙහිවල පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙහිවල, ඕබන්සයිඩ් ධීවර නිවාසවල පදිංචිව සිටි 56 හැවිරිදි කුරුවිට ආරච්චිලාගේ සුමිත් රූපසේන නැමැති අයෙකි. මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කවිඳු මධුසංක හෙවත් 'සැන්ඩෝ' නැමැත්තාගේ පියා බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී තුවාලකරු සුසාන භූමියේ යම් රාජකාරියක නිරත වීමෙන් අනතුරුව, අවමංගල්‍ය උත්සව සඳහා පාංශුකූලය ලබාදෙන ස්ථානය අසල තවත් සේවකයන් දෙදෙනෙකු සමඟ රැඳී සිට ඇත. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා එය සුසාන භූමිය ඉදිරිපිට නවතා, ආරක්ෂිත හිස්වැසුම් ද පැළඳ මීටර් 20ක් පමණ පාගමනින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාර කිහිපය තුවාලකරුගේ පපු ප්‍රදේශයට සහ වම් අතට වැදී තිබේ. ප්‍රහාරයෙන් පසුව සැකකරුවන් නැවතත් පාගමනින්ම ගොස් යතුරුපැදියට නැඟී ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
