වසර 2022 දී වයස අවුරුදු හතක පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු 41 හැවිරිදි පුද්ගලයකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර, එම දඬුවම වසර හතකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට බදුල්ල මහධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොස්කි මහතා පසුගියදා නියෝග කළේය.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ කුඩාලුණුක ප්‍රදේශයේ පදිංචිව සිටි විජේතුංග මුදියන්සේලාගේ ප්‍රේමරත්න නොහොත් ‘සාන්ත මාමා’ නමැති අවිවාහක පුද්ගලයාට බව රිදීමාලියද්ද පොලිසිය තහවුරු කරයි. විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතර අතුරින් එක් චෝදනාවකට වසර හත බැගින් බරපතළ සිර දඬුවම් නියම වූ අතර, එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් සමස්ත චෝදනා සඳහා රුපියල් විසිදහසක දඩ මුදලක් ද නියම කෙරිණි. එම දඩය ගෙවීම පැහැර හරින්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් විඳීමට ද විත්තිකරුට සිදු වේ.
ඊට අමතරව අපයෝජනයට ලක්වූ දරුවා වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සුළු සිර දඬුවමකට යටත් වන ලෙසත් මහධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව මගින් ප්‍රකාශ කර ඇත. රිදීමාලියද්ද පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව, එවකට මහියංගන කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී.එස්. පලිපාන මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව රිදීමාලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. වීරකෝන් සහ කාන්තා පොලිස් සැරයන් ජනිතා (1751) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව නඩුව ගොනුකරන ලදී.