all-divisional-secretariat-offices-in-colombo-district-start-bank-card-payments

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කරමින් වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සමීප කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ නව POS යන්ත්‍ර පහසුකම නිල වශයෙන් ආරම්භ කර තිබේ. රාජ්‍ය සේවා ලබාගැනීමේදී මහජනතාව මුහුණ දෙන ප්‍රායෝගික අපහසුතා මඟහරවාලමින් හඳුන්වා දුන් මෙම නවීන තාක්ෂණික සේවාව කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවේ.




අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සේවාව ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ සිව්වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකළ සේවාලාභීන් වෙනුවෙන් සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමද සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෘජු මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවුණු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා මූල්‍ය හා තාක්ෂණික දායකත්වය සපයා ඇත්තේ ලංකා බැංකුව (BOC) විසිනි. මෙමඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට තමන් සතු ක්‍රෙඩිට් (Credit) හෝ ඩෙබිට් (Debit) කාඩ්පත් භාවිත කරමින් ඉතා ආරක්ෂිත මෙන්ම කඩිනම් අයුරින් රජයේ ගාස්තු ගෙවීමට අවස්ථාව උදාකර දී තිබේ.




ලෝකයේ වේගයෙන් සිදුවන ඩිජිටල්කරණ ක්‍රියාවලියට අනුගත වෙමින් මෙරට රාජ්‍ය අංශය නවීකරණය කිරීම වත්මන් රජයේ ප්‍රධානතම අරමුණක් බව මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මෙම නව ගෙවීම් ක්‍රමවේදය හේතුවෙන් සේවාලාභීන්ට විශාල වශයෙන් මුදල් අතැතිව රැගෙන යාමට සිදුවන අවදානම මඟහැරෙන අතර, ඉතා කෙටි කාලයක් තුළ තමන්ට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාගැනීමට මහජනතාවට හැකියාව ලැබෙන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙම නව POS ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාවට මුදල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව සෘජුවම ගනුදෙනු සිදුකළ හැකි බැවින්, සේවා ලබාගැනීමට ගතවන කාලය අවම කරගත හැකි වෙයි. එමෙන්ම විශාල මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවශ්‍ය නොවන නිසා මුදල් අස්ථානගත වීම් හෝ මූල්‍ය වංචාවලට ලක්වීමේ අවදානමද පහව යන අතර නවීන තාක්ෂණය භාවිතයෙන් කෙරෙන මෙම ගනුදෙනු රටේ සමස්ත ඩිජිටල් ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් සපයයි. සියලුම ගනුදෙනු විගණනයට ලක්කිරීම පහසු කරවමින් රජයේ ආදායම් නිවැරදිව වාර්තාගත කිරීමට මඟපාදන මෙම වැඩපිළිවෙල, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ මූල්‍ය පාලනය වඩාත් විනිවිද පෙනෙන සුළු සහ ජනතා හිතකාමී පරිසරයක් කරා පරිවර්තනය කිරීමට ඉවහල් වනු ඇත.

all-divisional-secretariat-offices-in-colombo-district-start-bank-card-payments