ගාලු පාරේ පිහිටි වසර ගණනාවක් පැරණි පරිණත වෘක්ෂයක් පෞද්ගලික සමාගමක් විසින් කපා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ දැඩි අවධානය යොමුව තිබේ. රජයේ දේපළ විනාශ කිරීමේ චෝදනාව යටතේ අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කරමින් පවතින බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම විනාශකාරී ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඇය අවධාරණය කළේ, පොදු දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් එම පෞද්ගලික ආයතනය සෘජුවම වගකිව යුතු බවයි.නගරයේ පවතින හරිත පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මහනගර සභාව නිරන්තරයෙන් කැපවන බව පෙන්වා දෙන නගරාධිපතිනිය, මෑතකදී කොටුව දුම්රිය ස්ථානය සහ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලය අසල තිබූ ගස් කිහිපයක් සංවර්ධන කටයුතු හේතුවෙන් ඉවත් කිරීමට සිදුවූ අවස්ථාවේදී ද ඒවා කපා දැමීම වෙනුවට සූක්ෂ්ම ලෙස උදුරා වෙනත් ස්ථානවල නැවත රෝපණය කිරීමට පියවර ගත් බව සිහිපත් කළාය. එලෙස සුරක්ෂිත කරන ලද ගස් විහාරමහාදේවි උද්‍යානයේ සහ ෆ්ලවර් පාරේ සාර්ථකව යළි සිටුවීමට මහනගර සභාව කටයුතු කර තිබේ. මේ අතර, තමන්ගේ ව්‍යාපාරික ස්ථානවල වෙළඳ දැන්වීම් පුවරු හෝ නාම පුවරු ආවරණය වන බව පවසමින් නගරයේ ඇති ගස් කපා දැමීමට අවසර ඉල්ලා සිටීමෙන් වළකින ලෙස ද ඇය ව්‍යාපාරික ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රී ටෝනි රම්සි මහතා ප්‍රකාශ කළේ, පවත්නා නීති රීතිවලට අනුව බෝ ගස් සහ පොල් ගස් වැනි ශාක කපා දැමීම සපුරා තහනම් කර ඇති බවයි. මෙලෙස පවතින නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් නීති විරෝධී අයුරින් ගස් කපා දමන ඕනෑම පාර්ශවයකට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිමය හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.