karnagoda-was-arrested-for-the-problem-of-recruiting-yoshitha

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.




යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී අදාළ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කිරීම සහ ඔහු නිල වශයෙන් නාවික හමුදාවට එක්වීමටත් පෙර බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුවක් සඳහා යැවීමට කටයුතු කිරීම යන කරුණු පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා සේවයට ඇතුළත් කර ගැනීම සහ ඉන් අනතුරුව ඔහුව විදේශීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද පුළුල් විමර්ශනයකදී මෙම අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.




විමර්ශන දත්තවලට අනුව, අදාළ නාවික හමුදා කැඩෙට් පාඨමාලාවට යෝෂිත රාජපක්ෂ මහතාව බඳවාගෙන ඇත්තේ 2006 වසරේ දෙසැම්බර් මාසයේදීය. කෙසේ වෙතත්, ඊට පෙර එනම් 2006 සැප්තැම්බර් මාසයේදීම හිටපු නාවික හමුදාපතිවරයා විසින් ඔහුව අදාළ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව සඳහා යොමු කිරීමට නිල වශයෙන් ඉල්ලීම් කර ඇති බව හෙළි වී ඇත. තවද, ඔහු බඳවාගත් මෙම කැඩෙට් පාඨමාලාවට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පවා ප්‍රසිද්ධ කර ඇත්තේ 2006 ඔක්තෝබර් මාසයේදී බව පරීක්ෂණ මගින් වැඩිදුරටත් තහවුරු කර තිබේ.