යාපනය ප්‍රදේශයේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු විසින් බන්ධනාගාර නිලධාරියෙකුට පහරදීමේ සිදුවීමක් වාර්තා වේ. මෙම පහරදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරු ඊයේ (සඳුදා) දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී නඩු විභාගය සලකා බැලූ අධිකරණය අදාළ සැකකරුගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.
අධිකරණ නියෝගයෙන් අනතුරුව මෙම රැඳවියා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු විසින් එහි සිටි බන්ධනාගාර නිලධාරියාට මෙලෙස පහර දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.