a-paraglider-that-took-off-in-bento-crashed-into-the-sea-and-a-foreign-woman-died

බෙන්තොට සංචාරක කලාපයේ ගුවන් දසුන් නැරඹීම සඳහා භාවිතා කරන කුඩා පැරා මෝටර් යානයක් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් කළ 31 හැවිරිදි ලෙබනන් ජාතික කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (29) පස්වරු 4.00 ට පමණ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ බෙන්තොට වෙරළ තීරයේ සිට මීටර් 600 ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේදී බව බෙන්තොට පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදු වන අවස්ථාවේදී යානය පැදවූ කොලොම්බියානු ජාතික මනිල් ඊබ්‍රහිම් නැමැති නියමුවා වහාම මුහුදට පැන ගොඩබිම දෙසට පිහිනා ඒමෙන් තම දිවිය බේරාගෙන ඇත. මෙම කඩාවැටීමට හේතුව යානයේ ඇති වූ කාර්මික දෝෂයක් බවට මේ වන විට සැක කෙරේ.

සිදුවීමෙන් පසු අතුරුදන්ව සිටි විදේශික කාන්තාවගේ සිරුර පැය එකහමාරකට පමණ පසුව සොයා ගැනීමට හැකි වී තිබේ. බේරුවල මරදාන ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් කුඩා බෝට්ටු මගින් මුහුදට ගොස් මෙම සිරුර සොයාගෙන ඇති අතර, පසුව එය බේරුවල මරදාන ධීවර තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

සොයාගත් කාන්තාවගේ සිරුර මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුරින් බේරුණු කොලොම්බියානු ජාතික නියමුවා ද එම රෝහලටම ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි. අලුත්ගම ප්‍රදේශයේ පිහිටි සංචාරක සේවා සැපයුම් ආයතනයකට අයත් මෙම යානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිස් ස්ථානාධිපති අජන්ත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වේ.