
තම මිතුරාගේ 13 හැවිරිදි බාලවයස්කාර දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් ඇය ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ 35 හැවිරිදි පුද්ගලයෙකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කම්කරු රැකියාවක නිරතව සිටින, දැරියගේ පියාගේ සමීපතම මිතුරෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම සිසුවිය රවටා ගනිමින් අවස්ථා තුනකදී ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි. දැරියගේ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවලදී එහි ගොස් මෙන්ම, තොඩුවාව පොලිස් වසමේ පිහිටි නිවාඩු නිකේතනයකට ඇය කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව වැඩිදුරටත් හෙළිවී ඇත.
පාසලක 7 වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය ලබාදුන් ප්‍රකාශයන්ට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, මවුපියන්ගේ භාරකාරත්වයෙන් තොරව අපහරණය කර දූෂණය කිරීමේ චෝදනාව මත සැකකරු පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබේ. අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කිරීමටද පියවර ගෙන ඇත.
මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාගේ උපදෙස් මත, එම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂිකා සිරිමාන්න මහත්මිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.