
මෙම වසර තුළ දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතුරින් සියයට 88 කගේම ශරීරගත වී ඇත්තේ 'ඩෙංගු 2' (Dengue 2) වයිරස් ප්‍රභේදය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. මිනිස් සිරුර තුළ මෙම විශේෂ ප්‍රභේදයට එරෙහිව පවතින ප්‍රතිශක්තිකරණය අවම මට්ටමක පැවතීම රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
ජූලි 18 වන දින වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,321 දක්වා ඉහළ ගොස් ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා තහවුරු කරයි.වත්මන් වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ අතුරින් 37 ක්ම කාන්තාවන් වීම කැපී පෙනෙන තත්ත්වයකි. රෝගී තත්ත්වයන් මතු වූ වහාම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අපොහොසත් වීම මෙලෙස කාන්තා මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපා ඇත. බොහෝ කාන්තාවන් රෝගී වූ පසුවද අවශ්‍ය තරම් විවේක නොගෙන නිවසේ කටයුතුවල අඛණ්ඩව නිරත වීම මරණීය අවදානම දැඩි කිරීමට හේතු වී ඇති බැවින්, යම් රෝග ලක්ෂණයක් පහළ වූ සැනින් නිසි ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍ය බලධාරීහු උපදෙස් දෙති.
ඩෙංගු වැනි බරපතළ සංකූලතා ඇති කළ හැකි රෝගී තත්ත්වයන් සඳහා පාරම්පරික ඖෂධ හෝ අත් බෙහෙත් අත්හදා බැලීම අතිශය අවදානම් සහගත ක්‍රියාවක් බව වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කරයි. අත් බෙහෙත් භාවිත කරමින් රෝග ලක්ෂණ උත්සන්න වන තෙක් සිටීමෙන් පසුව රෝහල්ගත කරන පිරිස් යථා තත්ත්වයට පත් කිරීම අතිශය අභියෝගාත්මක ය. ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම නිසා අක්මාව සහ වකුගඩු වැනි අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වන අතර, එවැනි බරපතළ තත්ත්වයන්හිදී ඖෂධ මගින් පවා රෝගියා සුවපත් කිරීම දුෂ්කර වේ.
වර්තමානය වන විට රෝග ව්‍යාප්තියේ යම් මන්දගාමී බවක් දක්නට ලැබුණද, සමස්ත තත්ත්වය තවමත් පවතින්නේ අවදානම් මට්ටමකය. ගත වූ එක් දිනක් තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 843 දෙනෙකු වාර්තා වී ඇති අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 19,100 කි. දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (15,762) වාර්තා වන අතර, කොළඹින් රෝගීන් 15,000 ක්, මාතරින් 5,280 ක්, මහනුවරින් 5,015 ක් සහ කළුතරින් 4,978 ක් ලෙස වාර්තා වී ඇත. මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පැය 24 කට වඩා උණ පවතින්නේ නම් ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම අනිවාර්ය වේ. සෙසු පිරිස් දින දෙකකට වඩා උණ තත්ත්වයෙන් පෙළෙන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු විය යුතුය. ඩෙංගු මර්දනය සහ ඊට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 0117966366 අංකය ඔස්සේ විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක්ද දැනට ස්ථාපිත කර ඇත.