3-bombs-in-the-closet-of-asps-house

නත්තරන්පොත ප්‍රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරීවරයකුගේ කුලී නිවස තුළ සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ තුනක් සහ කඩුවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.




මෙලෙස සොයාගත් ජීව අත්බෝම්බ තුන නිවසේ තිබූ අල්මාරියක අඩංගු කර තිබී හමුවී ඇති අතර, කඩුව සොයාගෙන ඇත්තේ අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා නිවාඩු ලබා නිවසට පැමිණෙන අවස්ථාවලදී නිදාගන්නා කාමරයේ ඇඳ යට තිබියදී බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු පළාතේ කන්කසන්තුරේ ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන මෙම සහකාර පොලිස් අධිකාරීවරයා සහ ඔහුගේ බිරිඳ අතර පැවැති පවුල් ආරවුලක් හේතුවෙන්, සැමියාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවට බිරිඳ විසින් පසුගිය 17 වැනිදා මාතලේ සහ මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබිණි. නිවසේ තිබූ මෙම ආයුධ නිරීක්ෂණය වීමෙන් අනතුරුව බිරිඳ විසින් පොලිසිය හමුවේ අදාළ තොරතුරු අනාවරණය කර ඇත.




මෙම සිදුවීමට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයා පල්ලෙකැලේ පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති නමුත්, ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පල්ලෙකැලේ පොලිසිය ප්‍රකාශ කළේය. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, ඉදිරියේදී එම සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.