
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අතර එහිදී සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරනු ලැබීය.
මෙහිදී සාක්ෂි ලබාදුන් යසාරා අබේනායක මහත්මිය ප්‍රකාශ කළේ, මෙම නඩුවට පාදක වී ඇති දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවස වෙත තමන් ගොස් ඇති බවයි. තමන් සහ යෝෂිත රාජපක්ෂ විවාහ වී එම නිවසේ පදිංචි වීමට සැලසුම් කර තිබූ බවත්, එම නිවස යෝෂිත රාජපක්ෂ විසින්ම ඉදිකරන ලද්දක් බව තමන් දන්නා බවත් ඇය සඳහන් කළාය. නිවස ඉදිකරන සමයේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කරමින් 'සීඑස්එන්' (CSN) නාලිකාවේ කටයුතුවලට ද සහාය දැක්වූ බව පැවසූ ඇය, විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා යොමුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ අදාළ නිවස කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත වූ ඉතා විශාල මන්දිරයක් බවයි.
නඩුවේ තවත් සාක්ෂිකරුවකු වූ ඉඩම් හිමියෙකු වන ලූෂන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, රත්මලාන කෙකටිය පාරේ පිහිටි පර්චස් 31ක පමණ සිය ඉඩම විකිණීම සඳහා තමන් සිය හිතවතෙකු වන වසන්ත කුමාර ජයසූරිය වෙත පැවරු බවයි. ඉන් අනතුරුව වසන්ත කුමාර විසින් ගැනුම්කරුවකු කැඳවාගෙන ආ නමුත් ඔහු කවුදැයි තමන්ට පවසා නොතිබූ බවත්, පසුව රුපියල් මිලියන 34.5ක මුදලකට අදාළ ඉඩම විකිණීමේ ඔප්පුව රාජගිරියේ පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී අත්සන් කළ බවත් ඔහු පැවසීය. තම බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔප්පුවට අත්සන් තැබූ බවත්, එම මුදල් තැන්පත් කළේ කවුදැයි තමන් නොදන්නා නමුත් ඔප්පුවේ ගැනුම්කරු ලෙස සඳහන්ව තිබුණේ 'ඩේසි ෆොරස්ට්' නැමැති කාන්තාවකගේ නම බවත් හෙතෙම අනාවරණය කළේය. එමෙන්ම, මෙම ඉඩම විකිණීමට වසර දෙකකට පමණ පෙර නිවසේ බඩු මුට්ටු විකිණීම සඳහා පැවැත්වූ 'ගරාජ් සේල්' (Garage sale) එකක් අතරතුර, යෝෂිත රාජපක්ෂ සිය පෙම්වතිය සමඟ එම නිවසට පැමිණි බවද ඔහු මතක් කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තෙවැනි සාක්ෂිකරු ලෙස පෙනී සිටි වසන්ත කුමාර ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, යසාරා අබේනායක යනු තමන්ගේ ඥාති දියණියක වන අතර ඇය සහ යෝෂිත රාජපක්ෂ මුදු මාරුකර විවාහ වීමට ගිවිසගෙන සිටි බවයි. ලූෂන් රත්නායකගේ ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ තමන් සමඟ සාකච්ඡා කර එය මිලදී ගැනීමට කැමැත්ත පළ කළ බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව, රාජගිරිය ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී ඔප්පු අත්සන් කළ බවත්, එම අවස්ථාවේදී ඉඩම මිලදී ගැනීමට අවශ්‍ය මුදල් බෑග්වල දමාගෙන රැගෙන ආවේ ආරක්ෂකයින් වැනි පෙනුමක් ඇති පුද්ගලයන් පිරිසක් විසින් බවත් වසන්ත කුමාර ජයසූරිය මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය.