කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රහස්‍ය ලේඛන බාහිර පුද්ගලයන් වෙත ලබාදෙමින් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරුණේ පන්නිපිටිය, රුක්මලේ, පදිංචි 51 හැවිරිදි වියේ පසුවන කේ.
කේ. රුවිනි නාලිකා නමැති සැකකාරියයි.සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ඇයට විදේශගත වීම තහනම් කරමින්ද නියෝගයක් නිකුත් කරනු ලැබීය. මීට අමතරව, විමර්ශන කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සඳහා සැකකාර රෙජිස්ට්‍රාර්වරියට නැවත දැනුම් දෙනතුරු කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද අධිකරණය පියවර ගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 2 මගින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඇය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී එම කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති පත්තිරු වෙළුම් මෙන්ම ඔප්පුවල දෙවන පිටපත්වල වෙළුම්වලට අදාළ ලේඛන නීතිවිරෝධී ලෙස බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවයි.
සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම, සහ ඉඩම්වල සැබෑ අයිතිකරුවන්ගේ ව්‍යාජ ලේඛන සකස් කරමින් අදාළ දේපළ වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමට සහාය වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇත. අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සහ කරුණු දීර්ඝ ලෙස සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.