wijedasa-and-sagalas-names-implicated-in-rakhitha-chariths-bribery-case-due-to-harbis-testimony

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කිරීම සහ බූස්ස බන්ධනාගාරයෙන් සාමාන්‍ය බන්ධනාගාරයකට මාරු කරදීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක (ලක්ෂ 1200) අල්ලස් මුදලක් ලබාගැනීමේ මහා පරිමාණ සැලසුමක් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට අනාවරණය කර තිබේ. මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා ඇතුළු රටේ ඉහළම දේශපාලනඥයන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ උසස් පොලිස් ප්‍රධානීන්ගේ නම් සඳහන් වී ඇති බව වාර්තා වේ.




අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව, මෙම මහා පරිමාණ දූෂණ ක්‍රියාවලිය හෙළි වී ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ කෝනාරගෙදර නිර්මාණ ඉන්ද්‍රජිත් බණ්ඩාර හෙවත් ‘හර්බි’ නමැත්තා ලබාදුන් ප්‍රකාශයෙනි. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන සැකකරුවන් ඩුබායිහිදී තමන් හමුවී, හරක් කටාගේ බිරිඳ සමඟ මෙම අල්ලස් සැලසුම් සකස් කළ ආකාරය සාක්ෂිකරු විසින් විස්තර කර ඇත. සැකකරුවන් විසින් මීට පෙර පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූ ‘මාකඳුරේ මධුෂ්’ට සිදුවූ දේ මතක් කර දෙමින් හරක් කටාගේ බිරිඳ දැඩි ලෙස බියගන්වා මෙම මුදල් ලබාගැනීමට කටයුතු කර තිබේ.

සාක්ෂිකරුගේ ප්‍රකාශයට අනුව, සැකකරුවන් විසින් හරක් කටාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රුපියල් ලක්ෂ 500ක මුදලක් ලබාදිය යුතු බව පවසා ඇත. එසේම මාස තුනක් ඇතුළත හරක් කටාගේ රැඳවා තැබීමේ නියෝගය (DO) ඉවත් කිරීම සඳහා එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත තවත් රුපියල් ලක්ෂ 500ක් ලබාදිය යුතු බවත්, ඔහු සෘජුවම මුදල් ලබා නොගන්නා බැවින් එම කටයුත්ත සාගල රත්නායක මහතා මාර්ගයෙන් වෙනත් ක්‍රමයකට ඉටුකර ගන්නා බවත් සැකකරුවන් හරක් කටාගේ බිරිඳට පවසා තිබේ. මීට අමතරව, හරක් කටාව කෑගල්ල බන්ධනාගාරය වැනි සාමාන්‍ය බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට රුපියල් ලක්ෂ 500ක්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා සිටින හරක් කටාගේ වැඩකටයුතු වෙනුවෙන් එහි සිටින ප්‍රසාද් රණසිංහ සහ තුසිත කහගල්ල ඇතුළු නිලධාරීන් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 500ක්ද වශයෙන් මෙම අල්ලස් මුදල් කොටස් කර තිබේ.




මෙම සාකච්ඡාවලදී රඛිත රාජපක්ෂ නමැති සැකකරු පවසා ඇත්තේ තමන්ගේ පියාගේ පාර්ශවයෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ඉටුවිය යුතු සියලු කටයුතු තමන් බලාගන්නා බැවින් හැකි ඉක්මනින් මුදල් සූදානම් කර දෙන ලෙසයි. මුලින් රුපියල් ලක්ෂ 3000ක මුදලක් ඉල්ලා සිටියද, හරක් කටාගේ බිරිඳ සතුව එතරම් මුදලක් නොමැති බව පැවසීම නිසා එය පසුව ලක්ෂ 2000කට අඩු කරමින්, ඉන් ලක්ෂ 1200ක මුදලක් අත්තිකාරම් ලෙස ඉල්ලා ඇත. ඒ අනුව හරක් කටාගේ බිරිඳ විසින් මුලින්ම රුපියල් ලක්ෂ 1000ක වටිනාකමකින් යුතු ඩිරාම් මුදල් ‘හර්බි’ගේ නිවසට ගෙනවිත් දී ඇති අතර, රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ යන සැකකරුවන් විසින් එම මුදල් උන්ඩියල් (Undiyal) ක්‍රමය ඔස්සේ ලංකාවට එවීමට කටයුතු කර තිබේ. පසුව තවත් ලක්ෂ 200ක වටිනාකමකින් යුත් ඩිරාම් මුදල්ද ඔවුන් වෙත ලබා දී ඇත.

කෙසේ වෙතත්, සැකකරුවන් පොරොන්දු වූ පරිදි අදාළ කිසිදු කටයුත්තක් ඉටු නොවීම හේතුවෙන්, හරක් කටාගේ බිරිඳ විසින් තමන් ලබාදුන් මුදල් නැවත ඉල්ලා තිබේ. එහිදී සැකකාර චරිත් අබේසිංහ ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුදල්වලින් කොටසක් රඛිත රාජපක්ෂ වෙත ලබා දී ඇති බැවින් ඒවා නැවත ලබාගත නොහැකි බවයි. පසුව ඇතිවූ එකඟතාවන් මත චරිත්ගේ හිතවතෙකු මාර්ගයෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් පමණක් නැවත හරක් කටාගේ බිරිඳ වෙත ලබා දීමට ඔවුන් කටයුතු කර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති අතර, අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ මෙම ප්‍රකාශය මත පදනම්ව ඉදිරි විමර්ශන කටයුතු පුළුල්ව ක්‍රියාත්මකය.