it-is-revealed-that-the-body-thrown-into-the-gin-river-is-that-of-loku-pattys-main-shooter

ගිං ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් පිරිමි මළ සිරුර, "ලොකු පැටී" නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන "අල්මේදා" නමැත්තාගේ බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. දෑත් සහ දෙපා කොන්ක්‍රීට් කණුවක ගැටගසා ගඟට දමා තිබූ මෙම සිරුර ඉකුත් 23 වනදා රාත්‍රියේ පෝද්දල පොලීසිය විසින් සොයාගනු ලැබූ අතර, එම අවස්ථාවේදී හිසට සිදුව තිබූ දැඩි හානි හේතුවෙන් සිරුර කාගේදැයි ක්ෂණිකව හඳුනා ගැනීමට නොහැකි වී තිබුණි.

පසුව පොලීසිය සිදුකළ පුළුල් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙය අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් අල්මේදා නැමැති තැනැත්තාගේ සිරුර බවයි.




මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටා තිබූ සුවිශේෂී පච්චා සලකුණු ඇසුරින්, ඔහු සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාවක විසින් මෙම සිරුර මුලින්ම හඳුනාගෙන ඇත. ඉන් අනතුරුව ඔහුගේ මව්පියන් ද දේහය හඳුනාගෙන ඇති අතර, ඔවුන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මීට වසර හතරක පමණ කාලයක සිට තම පුත්‍රයා සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බවයි. දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

පොලිස් විමර්ශනවලට අනුව ඝාතනයට ලක්වූ අල්මේදා නැමැත්තා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන අතර, ඔහු එක් අවස්ථාවකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සමඟ ද අත්අඩංගුවට පත්ව තිබූ අයෙකි. මීට අමතරව ලොකු පැටී නමැති අපරාධකරුගේ මෙහෙයවීම මත ත්‍රිකුණාමලය, අහුංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන තුනකදීම ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ ද මොහුය. කාලයක් තිස්සේ පොලීසිය මඟහරිමින් සැඟව සිටි මොහු, "කරන්දෙණියේ සුද්දා" නැමැති ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලි පාර්ශ්වයට ද දැඩි තර්ජනයක්ව සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.