
ප්‍රකට ‘මිස්ටර් කොත්තු’ (Mr Kottu) අවන්හල් ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක විසින් තම ආයතනයේ සේවකයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය වෙමින් පවතී. අදාළ ආයතනයේ පනවා තිබූ අලෙවිකරණ ඉලක්ක සපුරාලීමට සේවකයින් අපොහොසත් වී ඇති බව පවසමින් එහි ප්‍රධානියා විසින් එම සේවකයාට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මෙලෙස දරුණු ලෙස පහර දී ඇති බව එම වීඩියෝවෙන් අනාවරණය වේ.
ආයතනය තුළ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක (CCTV) සටහන්ව තිබූ මෙම කම්පන සහගත දර්ශන පෙළ පසුගිය මාසයේ 05 වැනිදා සිදුවූවක් බව හඳුනාගෙන තිබේ. තම සේවකයාට ඉතා අවමන් සහගත සහ අමානුෂික අයුරින් සලකන ආකාරය දැක්වෙන මෙම සිදුවීම ප්‍රසිද්ධ වීමත් සමඟ, බහුතරයක් පාර්ශවයන්ගෙන් ඒ පිළිබඳව දැඩි අප්‍රසාදයක් සහ දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව දක්නට ලැබෙයි.
මෙම පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය තහවුරු කරයි. මේ පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ අදාළ වීඩියෝ පටය පදනම් කරගනිමින් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන අතර, වරදකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය කිසිසේත් පසුබට නොවන බවයි.